Wednesday 24 December 2014

Giant Wood Spider

Giant Wood Spiders
විද්‍යාත්මක නාමය : Nephila pilipes 

ජපානය, ඉන්දුනීසියාව, චීනය, වියට්නාමය, කාම්බොජියාව, සිංගප්පූරුව, තායිවානය, මියන්මාරය, තායිලන්තය, ලා‍ඕසය, පිලිපීනය, පැපුවා නිව්ගිනියාව, ඉන්දියාව හා ශ්‍රීලංකාවේ ජීවත්වන මකුලු විශේෂයකි. සාමාන්‍යයෙන් ගෙවතුවල හෝ කැලෑබද ප්‍රදේශ වල දැකිය හැකි නමුදු බාධාවන්ගෙන් තොර ස්ථනවල ජීවත්වේ. ගැහැණු සතා සාමාන්‍යයෙන් දිලිසුම් ඇති විශාල සතෙකු වන අතර ප්‍රමාණයෙන් 30-50 mm පමණවේ. පිරිමි සතුන් සාමාන්‍යයෙන් 5-6 mm පමණවේ. මොවුන් ලෝකයේ සිටින විශාලතම මකුළු වර්ග වලින් එකක් ලෙස සැලකේ.
Photograph by Nuwan Chathuranga
Photograph by Chamara Sulakkhana
මොවුන් සමාමාන්‍යයෙන් අක්‍රමවත් සමානුපාතික නොවන දැලක් සාදන අතර එහි නාභිය මදක් ඉහලට වන්නට තනයි. බිත්තර ගුලියක් ලෙස දමන අතර එය වටා පස් හෝ කොලරොඩු වලින් ආවරණය කරයි. කුඩා සතුන්ගේ පළමු දෙවන හා සිව්වන පාද යුගල් වල රෝම ඇති නමුත් පරිණත වත්ම මේවා අතුරුදන් වේ
Photograph by Chamara Sulakkhana

Tuesday 23 December 2014

සිළු සර්ප රාජාලියා (Crested Serpent Eagle)

Crested Serpent Eagle
විද්‍යාත්මක නාමය : Spilornis cheela

සිළු සර්ප රාජාලියා යන නාමයෙන් හැඳින්වෙන මොවුන් සාමාන්‍යයෙන් ශරීරයේ ඉහල දුඹුරු පැහැ වන අතර පහලට යන විට ලා පැහැතිවේ. පියාපත් යට පැත්ත, උරපත්ත හා යටි බඩ ප්‍රදේශය පුරා සුදු පැහැති තිත් හා ඉරි විසිර පවතී. බෙල්ල පිටුපස හා හිස අගිස්ස කළු පැහැතිය. පෙඳය කෙලවර සුදු පැහැයෙන් හා සුදු දාරයක් ඇතිව කළු පැහැති වේ. කෙටි පළල් පියාපත් ඇත. කකුල් වල පිහාටු නොමැති අතර ඇස හා හොටය දිලිසෙන කහ පැහැති වේ. සාමාන්‍ය ශරීර ප්‍රමාණයෙන් යුතු සර්ප රාජාලියන් දකුණු ආසායාතික රටවල් වල විසිර ජීවත්වේ.
Photograph by Chamara Sulakkhana
වැසි වනාන්තර, විවෘත සවානා බිම් වල, කඩොලාන බිම්, වගා බිම්, පනතනශීල බිම්, කලපු ආශිතව වැනි විවිධ ජෛව ප්‍රදේශ පුරා දැකිය හැක. විශාල තුරු මුදුන් තිබෙන තාක් ඔවුන් පරිසරයේ සිදුවන වෙනස්කම් වලට ඔරොත්තු දෙනවා. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර 1500ක් දක්වා ජීවත් වුවද තායිවානයේ මීටර 2500ක් දක්වාද නේපාලයේ මීටර 3350ක් දක්වාද වාර්තා වී ඇත. ඔවුන් දේශීය සංකුමණිකයන් වශයෙන් හඳුනාගත හැක.
Photograph by Chamara Sulakkhana

සාමාන්‍යයෙන් නමෙන් හැඳින්වෙන පරිදිම සර්පයන් මත යැපෙන්නන් වුවත් ගෙම්බන්, කටුස්සන්, විශාල කෘමීන් හෝ කුඩා කුරුල්ලන් පවා ආහාරයට ගනී. සමහර අවස්ථාවල ආඳන් හා කකුලුවන් පවා ආහාරයට ගනු දැක තිබේ. උස් ගසක ලැග සිට හොඳින් ගොදුර අධ්‍යයනයකින් පසු වේගයෙන් පියඹාවිත් ‍ොදුර ඩැහැ ගනී.
Photograph by Chamara Sulakkhana
Photograph by Chamara Sulakkhana

මීටර 6-20ක් දක්වා උසක කෝටු වලින් සෑදු ‍කූඩුව වටා කොල වලින් ආරක්‍ෂා කරයි. සාමාන්‍යයෙන් ජලය ඇති තැනක් කිට්ටුව බිත්තර දමයි. එය සෙන්ටිමීටර 50-60ක් පමණ පලල් වන අතර සෙන්ටිමීටර 10-30ක් පමණ ගැඹුරුය. කලාතුරකින් එම කූඩු නැවත නැවත භාවිතාවේ. එහි එක් බිත්තරක් පමණක් දමන අතර කිරිල්ලිය එය දින 35ක් පමණ රකී. දින 60කින් පමණ පසු පැටවුන් පියාසර කරයි.

Wednesday 17 December 2014

කණ කොකා (Indian pond heron)

Indian pond heron or paddybird
විද්‍යාත්මක නාමය : Ardeola grayii

Heron පවුලේ කුඩාම සාමාජිකය වන මොවුන් ජලාශ්‍රිතව ජීවත් වේ. සමාන්‍යයෙන් බෝවීම ඉරානය, පාකිස්ථානය, ඉන්දියාව, බුරුමය, බංගලාදේශය හා ශ්‍රී ලංකාවේ සිදුවේ. ගොඩක් ව්‍යාප්ත වී ඇති සතෙකු වන අතර ඔවුන් සාමාන්‍යයෙන් නිතරම ගෙදුරු ලෙස කුඩා ජලාශ්‍රිත සතුන් සොයමින් සිටිනු දැකිය හැක. තවද මොවුන් මිනිස් ජනාවාස අවට නිතර ගැවසේ.
Photograph by Chamara Sulakkhana
වයිරම් සහිත දුඹුරු පැහැයට හුරු ශරීරය වුවත් පියාසරන විට මොවුන්ගේ පියාපත් යට පැත්ත දිලිසෙන සුදු පැහැයෙන් දිස්වේ. මොවුන් පරිසරය මුහුවන සේ සිටින නිසා පියා සරන්නේ නැතිනම් හෝ කිසිදු චලනයක් නොමැති නම් එකවර හඳුනාගත නොහැකි වන සේ සිටී. පියාසරන විට හා නැවතී සිටින විට වර්ණ දෙකක් ඇති නිසාත් මොවුන් වෙනුවෙන් කණ කොකා නාමය පටබැඳී ඇත.
Photograph by Chamara Sulakkhana
Photograph by Chamara Sulakkhana
කෙටි ගෙල, කෙටි තියුණු හොටය නිසා හඳුනා ගත හැක. ශ්‍රීස්ම කාලයේදී වැඩිහිටි සතුන්ගේ ගෙල පෙදෙසේ දිගු පියාපත් සෑදේ. තවද අභිජනන කාලයේදී මොවුන් තනි තනිව රතු පැහැති කකුල් සහිතව දැකිය හැක. මෙය  සාමාන්‍යයෙන් වැඩිහිටි සතුන්ගේ සිදුවන ජානමය වෙනසක් ලෙස හඳුනාගත හැක. සාමාන්‍යයෙන් නිහඬ සතුන් වුවත් කරදරයකදී හෝ කූඩු ආශ්‍රිතව සිටිද්දී රළු හඬකින් කෑ ගසයි. වියලි කාල වලදී කෑම සොයා විවිධ ස්ථාන වල සිටියත් ජලාශ්‍රිත පරිසරයක් අවට ජීවත් වීමට ප්‍රියතාවයක් දක්වයි.
Photograph by Chamara Sulakkhana
ජලජ ශාක, කුඩා කකුළුවන්, ජලජ කෘමින්, මසුන්, ඉස්ගෙඩියන් හා සමහර විටෙක කූඩැල්ලන්ද ආහාරයට ගනී. කුඩා කණ්ඩායම් වශයෙන් කූඩු තනන මොවුන් කුඩා පඳුරු හෝ ගස් මත අනෙක් කුරුලු කූඩු අතර කූඩු තනයි. සාමාන්‍යයෙන් මීටර 9-10 අතර උසක අතු අතර තනන කූඩු තුල බිත්තර 3-5ක් පමණ දමයි. කුරුල්ලා කූඩුව තනන්නට ද්‍රව්‍ය සපයන අතර කිරිල්ලිය කූඩුව තනා ගනී. දින 18-24ක් අතර කාලයේ බිත්තර පුපුරා පැටවුන් පැමිණේ. පසුව කිරිල්ලිය හා කුරුල්ලා මාරුවෙන් මාරුවට පැටවුන් පෝෂණය කරයි.

Saturday 13 December 2014

රතු කෝනංගියා සමනලයා (Red Pierrot)

Red Pierrot
විද්‍යාත්මක නාමය : Talicada nyseus

පහත් පඳුරු ආශ්‍රිතව නොවරදින සමනල් විශ්ෂයකි. සාමාන්‍යයෙන් ඔවුන්ගේ ධාරක ශාකය වන අක්කපාන (Bryophyllum pinnatum) ශාක අවට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් වේගයෙන් ඉගිලුනත් ඔවුන්ට වැඩි දුරක් එක දිගට පියාසරන්නට නොහැක. පියාපත් විහිදූ විට සෙන්ටිමීටර 3 - 3.5 පමණ වන සත්ත්වයෙකි.
Photograph by Chamara Sulakkhana
ගැහැණු සතුන් අක්කපාන ශාක පත්‍ර යටි පැත්තේ බිත්තර දමන අතර වරකට එක බැගින් කීප වරක් පත්‍ර මතට පැමිණ බිත්තර දමනු දැකිය හැක. සාමාන්‍යයෙන් පියාපත් වල උඩ පැත්ත සම්පූර්ණයෙන්ම පාහේ කලු පැහැතිය. නමුදු පහල තටුවේ පහල දාරය දිගේ තැඹිලි පැහැති ඝනකම් පටියක් දැකිය හැක. පියාපත් යටි පැත්ත කලු තිත් වැටුනු සුදු පැහැතිවේ. පියාපත් වල දාරයේදී තිත් ප්‍රමාණය වැඩිය. පහල පියාපතේ පහල දාරය තැඹිලි වර්ණ වන අතර එහිද සුදු තිත් විසිර තිබේ. ඒ නිසා සමනලයායේ යටි පැත්තෙන් බැලූ විට ඉතාමත් ලස්සනට දිස්වේ.
Photograph by Chamara Sulakkhana
බිත්තර පුපුරා කීටයන් පැමිණ ඔවුන් ඝණකම් අක්කපාන කොලය තුලට රිංගා ගනී. ඔවුන් ජීවත් වන්නේ ඒ තුලයි. කොල පැහැති මොවුන් අක්කපාන කොලය තුල උමං කනිමින් පතුය ආහාරයට ගන්නා අතර එය අවසන් වූ ‍විට වෙනත් පත්‍රයකට මාරුවේ. ලා කහ පැහැති කීටයන්ගේ ශරීරය පුරා සුදු පැහැති රෝම තිබේ. අපිචර්මය තුලින් පිටට පැමිණ පිලවුන් බවට පත්වන අතර ඔවුන් 10mm පමණ වේ. පතු යටි පැත්තේ කෝශ සාදා ගනී. සුදු පැහැති කෝෂය පුරා ක‍ළු තිත් හා සුදු පැහැ රෝම තිබේ.
Photograph by Chamara Sulakkhana
සාමාන්‍යයෙන් ඔවුන්ගේ ධාරක ශාකය තිබෙන තැන් වල පමණක් දක්නට ලැබෙන් මොවුන් අර්ධ ශුෂ්ක කලාපයේ හා ගෙවතු වල වුව දැකිය හැක. පහත කලාපයේ සිට අ‍ඩි 8000ක් දක්වා කලාපයේ විසිර පවතී.
Bryophyllum calycinum
Bryophyllum calycinum

Monday 8 December 2014

පහන් ගෝමරා සමනළයා (African Monarch)

African Monarch or Plain Tiger
විද්‍යාත්මක නාමය : Danaus chrysippus

පහන් ගෝමරා නමින් හැඳින්වෙන මෙම සමනල් විශේෂය ලොකයේ චිත්‍ර සඳහා යාදාගෙන තිබෙන පැරණිම සමනල් විශේෂයක් බව සැලකේ. එයට හේතුව වන්නේ අවුරුදු 3500ක් පමණ පැරණි ඊජිප්තු බිතු සිතුවම් වල මෙම සත්ත්වයා ඇඳ තිබීමයි.
Photograph by Chinthaka Wijesinghe
මෙම සත්ත්වයා තටු විහිදූ පසු 7-8 cm පමණ වන අතර කළු පැහැති ශරීරයේ සුදු තිත් විසිර තිබේ. තටුවල ඇති පිච්චර යටි පැත්තට වඩා උඩ පැත්තේ වැඩිය. අපර තටුවේ ඉදිරිපස කොටස කළු පැහැ වන අතර ඒ වටා සුදු පැහැති මායිමක් සටහන්ව ඇත. පසු පස තටුවේ මැදට වන්නට කළු පැහැති තිත් තුනක් දක්නට ලැබේ. තවද එය වටා දුවන සුදු වක්‍ර පිරුණු කළු පැහැති මායිමකි. තටුවල වර්ණය සුදු පැහැයේ විචල්‍ය වේ.

පිරිමි සත්ත්වයා සාමාන්‍යයෙන් ගැහැණු සතාට වඩා කුඩා වන අතර පැහැපත්ය. තවද පිරිමි සත්ත්වයාගේ පසු පස තටුවේ කුඩා මල්ලක් ලෙසද, පසු පස තතටුවේ ඇති තිත් කළු මායිමෙන් වටවූ සුදු පැහැයෙන් ඉලිප්පුනු ස්වභාවයෙන්ද දිස්වේ. මෙය ගැහැණු සතුන් ඇද ගැනීමේ ක්‍රමයක් වේ. තවද යටි බඩෙන් නෙරා ආ කුඩා තූලිකා දෙකක් දක්නට ලැබේ.
Photograph by Adrian Hoskins
ආහාරයට දේ ඇති කාන්තාර වල සිට මුහුදු මට්ටමේ සිට අඩි 9000 දක්වා පරාසයේ ව්‍යාප්තව ඇති සත්ත්වයෙකි. ලාවා අවධියේ සිට වර්ධන අවධියේදී පවා ශරීරයෙන් ස්‍රාවය වන දියරයක් නිසාවෙන් මොවුන් විලෝපිකයන්ගෙන් ආරක්‍ෂා වී ඇත. අනෙක් කරුණ නම් මොවුන් සාමාන්‍යයෙන් පියඹන්නේ පොලව මට්ටමෙන් නිසාවෙන් ද ආරක්‍ෂාවක් තිබේ. තවද විලෝපිකයන් ආහාරයට ගතහොත් ක්‍ෂණිකව ස්‍රාවය වන දියර නිසාවෙන් මොවුන් වහා වමනය කරවයි. එහිදී ආශ්චර්යමත් ලසින් මොවුන් නැවත පියඹා යන්නේ මොවුන් සතු බොරුවට මිය යාමේ විශේෂ හැකියාව නිසාවෙනි.

Sunday 7 December 2014

පලා පඳුරු මැඩියා (Leaf-nesting shrub frog)

Leaf-nesting shrub frog
විද්‍යාත්මක නාමය : Pseudophilautus femoralis

අර්ධ ශුෂ්ක කලාපයේ හා තෙත් කඳුකර වනාන්තර වල දැකිය හැක. මොවුන්ගේ වාසස්ථාන අහිමි වීම නිසාවෙන් තර්ජනයට ලක්ව සිටින ඒක දේශික සත්ත්ව විශේෂයකි. පිණි වැටෙන උදය කා‍ලසේ දක්නට හැකි මොවුන්ගේ පිරිමි සතුන් බොහෝ විට හඬ නගන්නේ ශාක පත්‍ර වල යට පැත්තේ එල්ලී ගෙනයි. දැනට වාර්තාගත දත්ත අනුව එවැනි චර්යාවක් දක්වන ශ්‍රී ලංකාවෙ වෙසෙන එකම උභයජීවී විශේෂයද වන්නේද පලා පඳුරු මැඩියන්මය.
පරිසරයේ සිදුවන කුඩා වෙනස්වීම් වලට පවා සංවේදී මොවුන් පඳුරක පත්‍ර යට පැත්තේ බිත්තර දැමීම සිදු කරයි. බිත්තර දැමීම මැයි සැප්තැම්බර් කාලයේදී එනම් නිරිතදිග මෝසම් සමයේදී සිදු කරයි. වරකදී බිත්තර 7-22ක් පමණ දමයි.
බිත්තර දැමීමේදී පිරිමි සතා ගැහැණු සත්ත්වයා මත සිට බිත්තර සියල්ල දමා අවසන් වන තුරු ගැහැණු සත්ත්වයාව තද කරයි. අවසාන බිත්තරය දැමූ පසු පිරිමි සතා ඉවත්ව යන අතර ගැහැණු සතා සියලු බිත්තර එකට අලවා කූඩුව සෑදීම සිදු කරයි. කූඩුව සාදන්නේ ඔවුන්ගෙන් නිකුත්වන ස්‍රාවයකිනි. පැය 1-3 පමණ කාලයක් ‍හොඳින් බිත්තර ආරක්‍ෂාකාරී ලෙස සකස් කර ගැහැණු සතා ඉවත්වේ.
Photograph by Schindra Umesh
මොවුන්ගේ ඉස්ගෙඩියන් ලෙස අවධියක් නොමැති අතර කෙලින්ම පැටවුන් බිහිවේ. විවිධ ජීවී අවධි අපට පිටත සිට බලාගත හැකි වීමත් විශේෂ කරුණක් ලෙස සැලකිය හැක. දින 37-49ක් අතර කාලයේ කලු දුඹුරු පැහැති පැටවන් එලියට පැමිණේ. ක්‍ෂණිකව බිමට වැටෙන ඔවුන් පසුව නැවතත් පඳුර වෙත බඩගෑමට සමත්වේ. මොවුන්ගේ පැටවුන් හා වැඩිහිටියන් සියල්ල පඳුරු මත ජීවත්වේ.

ශ්‍රී ලංකා පලා පොලඟා (Sri Lankan green pit viper)

Sri Lankan green pit viper
විද්‍යාත්මක නාමය : Trimeresurus trigonocephalus

මොවුන්ගේ ගැහැණු සතා හා පිරිමි සතා ‍පෙනුමින් මඳක් වෙනස් සුවරූපයක් ගනී. උපතේදී 20-25cm පමණ වන මොවුන්ගේ වැඩුණු පිරිමි සතෙක් 60-75cm පමණවේ. ගැහැණු සතුන් 130cm පමණවේ. ලංකාවට ආවේණික සතෙකි.
පැතැලි ත්‍රිකෝණාකාර හිස හා කඳ වෙනස්ව පැහැදිලිව දැකිය හැක. හිසේ හොඳින් වයිරම් දැකිය හැකි අතර කෙටි, රවුම් හොම්බක් දැකිය හැක. පිරිමි සතුන් සාමාන්‍යයෙන් ගැහැණු සතුන්ට වඩා කුඩාවේ. සාමාන්‍යයෙන් උඩු පැත්ත කළු පැහැති වයිරම් වැටුණු කොල පැහැති සතුන් වන අතර යට පැත්තේ වර්ණය විවිධ විය හැක. ශරීරයේ යට පැත්ත කහපැහැයට හුරු වුවද වලිගය කෙලවරදී කළු පැහැවේ. නමහර විටෙක අළු පැහැති උදරයන් ඇති අවස්ථාද තිබේ.
Photograph by Ahtijiv Irisantar
සාමාන්‍යයෙන් ගස්වල වාසය කරන මොවුනට අල්ලාගත හැකි, ශක්තිමත්, කෙටි වලිගයක් තිබේ. ප්‍රජනනය ජලාබුජව සිදුවන අතර ජුනි ජූලි කාලයේ වරකට පැටවුන් 25ක් පමණ උපදී. උස් කඳුවල හා ශුෂ්ක කලාපයේ හැරුණු විට ලංකාව පුරාම දක්නට ලැබෙන අතර බහුලව තෙත් කලාපයේ සිටී. නිශාචර සත්ත්වයෙකි.
Photograph by Iranga Thejana
කටුස්සන්, ගෙම්බන්, කුඩා ක්‍ෂිරපායින් ආහාරයට ගන්නා අතර කලබල වූ අවස්ථා වලදී වල්ගයෙන් අත්තක එල්ලී දඟර ගැසෙමින් සිටී. සමහර අවස්ථා වලදී පිඹිමින් සපා කෑමට තැත් කරනු දැකිය හැක. දෂ්ඨ කිරීමකදී තුවාලය අසලින් දියරයන් ස්‍රාවය හා ඉදිමීම සිදුවේ. තුවාලය දින කීපයක්ම රිදුම් දෙන අතර මරණ නම් වාර්ථා නොවුනු තරම්වේ.

පෙන්ද නිල් බිගුහරයා (Blue-tailed bee-eater)

Blue-tailed bee-eater
විද්‍යාත්මක නාමය : Merops philippinus
Photograph by Chamara Sulakkhana
අනෙක් බිඟුහරයන් අතර කෙට්ටු ශරීරයක් තමා තියෙන්නේ. අග්නිදිග ආසායාවේ ජීවත්වෙන මොවුන් සංක්‍රමණිකයන් හැටියට දකුණු ඉන්දීය කලාපයේ දකින්න පුළුවන්.

දිලිසෙන කොල පැහැති ශරීරය, ඇස වටා ඇති කළු පැහැති වයිරම, කහ හා දුඹුරු පැහැති උගුර, නිල් පැහැති පෙඳය හා කළු පැහැති හොට නිසා නේ පහසුවෙන් හඳුනාගත හැක. අවරය සමඟ මුළු ප්‍රමාණය 23-26cm පමණවේ.

Photograph by Chamara Sulakkhana
නිවර්තන කලාපයේ අභිජනනය සිදු කරන මොවුන් කුඹුරු හෝ වෙල් යාය වල බිත්තර දමයි. කෘමීන්  ආහාරයට ගනී. බත්කූරන් හා මී මැස්සන් ආහාරයට වඩාත් ප්‍රිය කරන සත්ත්වයෙකි. රංචු වශයෙන් අතුපතර හෝ විවෘත පියස්සක් තුල බිත්තර දමයි. දිගු ගුහාව් වැනි කූඩුව තුල වරකට බිත්තර 5-7ක් අතර දමන අතර කුරුල්ලා හා කිරිල්ලිය මාරුවෙන් මාරුවට බිත්තර රැකීම සිදු කරයි.

ශ්‍රී ලංකා කැන්ගරු කටුස්සා (Sri Lankan Kangaroo Lizard)

Brown-patched Kangaroo lizard or Sri Lankan Kangaroo Lizard
විද්‍යාත්මක නාමය : Otocryptis wiegmanni
ගැහැණු සත්ත්වයා
Photograph by Chamara Sulakkhana

පිරිමි සත්ත්වයා
Photograph by Gunadasa Pathirana
ශ්‍රී ලංකාවට අවේණික සතෙකු වන මොවුන් තෙත් කලාපීය වනාන්තර වල හා මීටර 1300ට ඉහල පහතරට කඳුකර වනාන්තර වල දැකිය හැක. සාමාන්‍යයෙන් කොළ රොඩු හෝ අඳුරු පැහැ වනාන්තර බිම් වල දැකිය හැක.

පිරිමි සතාගේ හිස හා බෙල්ලේ වර්ණවත් බව නිසාවෙන් හඳුනා ගත හැක. තවද පිරිමි සත්ත්වයාගේ ගෙල ප්‍රදේශය පිම්බීමේ හැකියාවක්ද ඇත. සාමාන්‍යයෙන් වැඩුණු සතෙකුගේ ශරීරය 7cm පමණද වලිගය 15cm පමණද වේ. අඳුරු රතු පැහැයේ සිට අඳුරු දුඹුරු පැහැය දක්වා වර්ණ පරාසයක් දරයි. ජූලි ජනවාරි කාලයේ බිම සෑදූ කුඩා කූඩුවක 10-17mm ප්‍රමාණයේ බිත්තර 4ක් හෝ 5ක් දමයි. දින 57-70ක් අතර කාලයේ බිත්තර පුපුරා පැටවුන් එලියට එයි.
වනාන්තර තුල කුමන හෝ අන්තරායක් දැනුන විට පසුපස ගාත්‍රා උපයෝගී කරගෙන වේලයෙන් දිවගොස් පැලයකට නැග ගැනීම හෝ කොලරොඩු අතර සැඟව ගැනීම සිදු කරයි. මෙසේ ගමන් කරන විලාසය නිසාවෙන් මේ නම ලැබී ඇත.
Photograph by Chamara Sulakkhana
කම්බි පනූවන්, කෘමීන් හෝ ලපටි අංකුර ආහාරයට ගන්නා මොවුන් මඳක් දකුණු ඉන්දියාවේ සිටින ඉන්දියානු කැන්ගරු කටුස්සාට (Otocryptis beddomii) සමාන කම් දක්වයි.