Friday 17 July 2015

වතනිල් මල්කොහා Blue-faced Malkoha

Blue-faced Malkoha
විද්‍යාත්මක නම: (Phaenicophaeus viridirostris)

කොවුල් පරම්පාරාවට අයිති වෙන කුරුල්ගලක්. හැබැයි ඉතින් ගොඩක්ම ලජ්ජාශිලී කුරුල්ලෙක් නිසා දකින්න හරිම අපහසුයි. ශ්‍රී ලංකාවේ හා දකුණු ඉන්දියාවට සිමා වුන පක්‍ෂියෙක්. විවෘත වනාන්තර හා කටුපඳුරු වනාන්තර වල දකින්න පුළුවන්.
අඩියකට මඳක් විශාල මොවුන් කලු පැහැති වන අතර හිස අඳුරු කොළ පැහැතිවේ. වලිගය ඉහල කොළ පැහැති දාරයක් හා සුදු පැහැති කෙලවර සහිත පිහාටුවේ. බෙල්ල හා උදරය ලා කොළ පැහැතිය. හොටය කොළ පැහැතිය. ඇස වටා ඇති විශාල නිල් පැහැති රවුම නිසා පහසුවෙන් හඳුනාගත හැක. ගැහැණු හා පිරිමි සතුන් එක හා සමානව දිස්වේ.
මාර්තු මැයි කාලයේ පඳුරු මුදු‍නේ සාදන කූඩුවේ සාමාන්‍යයෙන් බිත්තර දෙකක් හෝ තුනක් දමයි. කෘමින්, දළඹුවන් ආහාරයට ගන්නා අතර බෙරි විශාල වශයෙන් ආහාරයට ගැනීමට රුචියක් දක්වයි.


Sunday 21 June 2015

Burmese lynx spider

Burmese lynx spider
විද්‍යාත්මක නම : Oxyopes birmanicus
 
මොවුන් තමන්ගේ කෙඳි වලින් සෑදූ නිවෙස් වලින් පිටත ගස්කොළ මත කඩිසර දඩයම් කරුවන් වශයෙන් ජීවත් වේ. Oxyopidae පවුලට අයත්ය.
සාමාන්‍යයෙන් තණකොළ මත මඳක් ඉහලට වැවෙන ශාක මත ජීවත්වේ. මොවුන්නග් විශේෂම ලක්‍ෂණයක් වන්නේ කකුල් වල ඇති දිගු කෙඳිය. මොවුන් මකුළු දැල් බඳින්නේ නැත.  දැල් බැඳ සතුන් ගොදුරු කර ගැනීම වෙනුවට මොවුන්  ක්‍රියාකාරී ලෙස ඇවිදිමින් දඩයම් කරයි.
පනින මකුළුවන් (Jumping Spiders) තරම් දිගු පෙනීමත් නැති මොවුන්ගේ පෙනීමේ සීමාව 10cm තරම් වේ. මොවුන්ගේ ඇස් අටෙන් හයක් ෂඩස්‍රාකාරව හිස වටා සැකසී ඇත. එමගින් මොවුන් Oxyopidae පවුලට අයත් යැයි හඳුනාත හැක.
 
 

Monday 15 June 2015

දිමියා (Red Ant)



දිමියා, සත්ත්ව ලෝකයේ ඉතා සුවිශේෂී හැසිරීමකට හිමිකම් කියන සත්ත්වයෙකි. මොවුන්ගේ ජීවන රටාව තුල විවිධාකාරයේ ‍ක්‍රියාකාරකම් දකින්න පුළුවන්. මා කල මේ කුඩා රූපගතකිරීමේ තියෙන්නේ මොවුන් කූඹියෙකු ගොදුරු කර ගත් අවස්ථාවක්. නමුත් අවාසනාවකට ජීවිතය සඳහා සටනේදී කූඹියා දිමියාගේ එක් ඇන්ටනාවක් තදින් සපාකාල. කුඩා කඹියාගෙන් බේරෙන්න අනිත් දිමියන් උදව් කරනවා.

Red ant, one of small insect which has most significant behavior in animal world. There are so many heterogeneous activities in their living nature. This video of mine shows you that they preying small black ant. But unfortunately in that fight for living black ant bite one antenna of the Red ant. And then the other Red ants help to get rid from the black ant.


Saturday 18 April 2015

බැම සුදු පවන් පෙන්දා (White-browed Fantail)

White-browed Fantail
විද්‍යාත්මක නාමය : Rhipidura aureola

කාක ගණයට අයත් පක්‍ෂියෙකි. වැඩුනු කුරුල්ලා 18cm (අඟල් 7) දිගය. ශරීරය ඉහල අඳුරු දුඹුරු හෝ කථ දුඹුරු පැහැතිවේ. පුළුල් ඇහිබැම සුදු පැහැති වන අතර එය නලලේදී එකතුවේ. තටු කෙලවර සුදු පැහැ තිත් පේලි දෙකකි. වලිගය හා පිහාටු මැද දුඹුරු පැහැයට හුරුවේ. උගුර පුදේශය සුදු පැහැ වන අතර පපුව හා යටිබඩ ප්‍රදේශද සුදුපැහැවේ. ‍හොට, කකුල් හා ඇස් කළු පැහැතිය. මොවුන්ගේ ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා මඳක් දුඹුරු පැහැතිය.
Photograph by Chamara Sulakkhana
සෑම විටම ක්‍රියාකාරී වන අතර නිතරම පෙඳය ඉහල පහල කරමින් සිටිනු දැකිය හැක. නිරතුරු ලඟපාත ඇති අතු අතර සරමින් සිටී. මේ නිසා නටන කුරුල්ලා එසේ නැතිනම් පාන් කිරිත්තා යන නමින් හැඳින්වෙන්නේද මෙම කුරුල්ලාමය. යුගල් වශයෙන් සිටීමට කැමැත්තක් දක්වයි. නමුත් සමහර අවස්තාවල කුඩා කණ්ඩායම් වශයෙන්ද සිටී. සිවුරු හඬලනවා වැනි නාදයක් කරන අතර එය ආවර්තිකය. නමුත් අනතුරකදී වේගයෙන් නාද කරනු ඇසිය හැක. සාමාන්‍යයෙන් සාමකාමී කුරුල්ලකු වන අතර මොවුන්ගේ ප්‍රධාන ආහාරය වශයෙන් පියාඹන කෘමි සතුන් ආහාරයට ගනී. ගවයන් වැනි සතුන් ආශිතව ඇති මැස්සන් වැනි කෘමීන් ආහාරයට ගනිමින් ඒ අවට සැරිසරන නිසාවෙන් මොවුන් එ‍ඬේර කුරුල්ලා වශයෙන්ද හැඳින්වේ. කෘමීන් පසුපස හඹාගොස් දඩයම් කර කුඩා අත්තක් මත හිඳ ගොදුර ගිල දමයි.
Photograph by Chamara Sulakkhana
විවිධ තැන් වල විවිධ අභිජනන කාල දක්වා ඇති අතර එයට හේතුව මෝසම් කාලයන් අනුව අභිජනන කාලය වෙනස්වීම යැයි සිතිය හැක. නමුත් වැඩි ප්‍රමාණයක් අප්‍රේල් මැයි කාලයේදී වාර්තා වී ඇත. මොවුන් වැඩි වශයෙන් නැගෙනහිර, නිරිත දිග ලංකාවේ දැකිය හැක. කෘමිනාශක ආදිය භාවිතය මොවුන්ගේ ජීවිත වලට තර්ජනයක්ව පවතී.

තවත් පින්තූර බලන්න මෙතැන click කරන්න.

Photograph by Chamara Sulakkhana

Thursday 2 April 2015

යෝධ සලබයා (Atlas moth)

Atlas moth
විද්‍යාත්මක නාමය : Attacus taprobanis

අග්නිදිග ආසියාවේ නිවර්තන හා අර්ධ ශුෂ්ක කලාප වල ජීවත්වේ. මැලේසියානු දූපත් වල විශේෂිතයි. ඇට්ලස් සලබයා එහෙමත් නැතිනම් යෝධ සලබයා ලෙසින් හඳුන්වන මොවුන්ගේ පියාපත් විහිදූ පසු වාර්ථාවූ විශාලම ප්‍රමාණය වන්නේ 26.2cm වේ. වියාපත් විහිදූ පසු ඇති වර්ගඵල විශාලත්වය අතින් මොවුන් ලෝකයේ ජීවත්වන විශාලම සලබ වර්ගය වේ. නමුත් හර්කියූලිස් සලබයා ලෙස හඳුන්වන තවත් මෙවැනිම විශාල වර්ගයක් නිව්ගිනියාව හා උතුරු ඔස්ට්‍රේලියාවේ වාර්තා වී ඇත.
Photograph by Nimalsiri Jayasena
සාමාන්‍යයෙන් ගැහැණු සතුන් ලිංගකව නිශ්ක්‍රීය වේ. ඔවුන් හක්ති සම්පන්න ෆෙරමෝන නිදහස් කරන අතර පිරිමි සතුන් මෙම ෆෙරමෝන නිසා කිලෝමීටර ගණනාවක දුර සිට වුවද ආකර්ශණය වේ. තමාගේ පිලා කෝෂ්ඨය තිබූ තැනට ආසන්නම උස් තැනක හොඳින් සුලං මගින් තමාගේ ෆෙරමෝන විසුරුවා හැරිය හැකි ස්ථානයක ලැග සිටී.
Photograph by Nimalsiri Jayasena
එක්වීමෙන් පසු ගැහැණු සතුන් පත්‍ර යටි පැත්තේ විශ්කම්භය 2.5 cm තරම් වූ බිත්තර ගණනාවක් දමයි. එයින් සති දෙකකට පමණ පසු දුර්වර්ණ කොල පැහැති දලඹුවන් එලියට පැමිණේ. ඔවුන් විශේෂයෙන් පැඟිරි ශාක පත්‍ර ද වෙනත් ශාක පත්‍රද අාහාරයට ගනී. ඉටි වැනි ‍සුදු පැහැ ආවරණයකින් ආරක්‍ෂා වූ පිට පැත්ත පුරා ගැටිති ලෙස දිස්වේ. මොවුන්ගේ ශරීරයෙන් පිටකරන ස්‍රාවයක් නිසා මොවුන් විලෝපිකයන්ගෙන් ආරක්‍ෂාවේ. මෙම ස්‍රාවයේ සුවඳ 50m දක්වා විහිදේ.

මොවුන් 11.5cm පමණ වූ පසු පිලාකෝෂ්ඨ සාදා ගනී. එතැනින් සති 4කට පමණ පසු සලබයා එලියට පැමිණේ.
Photograph by Nimalsiri Jayasena
සලබයා ආහාර නොගන්න‍ා අතර දලඹුවාගේ සමයේදී තිර කරගත් මේදයෙන් ජීවත්වේ. මොවුනට මුඛයක් නැති බවද කියයි. සාමාන්‍යයෙන් වැඩුනු සලබයා ජීවත්වෙන්නේ සත් දෙකක් පමණය. එනිසා මොවුන් ඉක්මනින් එක්වී බිත්තර දමා දවස් කීපයක් ඇතුලම මියයයි.

Tuesday 10 March 2015

රෑන් මාපිලා (Common Cat Snake)

Common cat snake or Indian gamma snake
විද්‍යාත්මක නාමය: Boiga trigonataus

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානයේ වාර්තා වී ඇත. වර්ණයෙන් වෙනස් උප විශේෂ ගනනාවක්ම සිටී. සැඟවී සිටීමට ආශාවක් දක්වයි. එනිසා ගස් මුල් අතර, බෙන වල පඳුරු අතර දැකිය හැක. විවෘත මෙන්ම ඝණ කැලෑවන් වලද ජීවත්වේ. උස් කඳුකර ප්‍රදේශය හැරෙන්නට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම හමුවෙයි. මඳ විශ සර්පයෙකි. විෂ මිනිසාට හානිකර නැත.
 
රූන් මාපිලාගේ හිස ඹ්වලාකාරය. ඉතා පැහැදිලි බෙල්ලක් පිහිටයි. සිහින් පැතලි දිගු සිරුරක් දරයි. ඇස් විශාල වන අතර වලිගය සිලින්ඩරාකාර හැඩයක් ගනී. වැඩුන සර්පයෙක් සෙ .මි 80 – 90 පමණ වේ. ශරීරයේ මැද එක් වටයක කොරපොතු 20 පමණ පිහිටයි. රෑන් මාපිලාගේ ශරීරය දුඹුරු කහ හෝ අළු මිශ්‍ර පැහැයකින් යුක්තය. හිස මත Y ලක්ෂණයක් පිහිටන අතර ශරීරයේ සුදු වර්ණයෙන් V ලක්ෂන වැටී ඇත. 
Photograph by BK Vijitha Rathnasiri
නිශාචර සතෙකු වන රෑන් මාපිලා ඉක්මණින් කිපෙන සුළුය. හූනන් , කටුස්සන් වැනි සතුන් ආහාරයට ගන්නා අතර කිපුන විට වලිගය සොලවමින් සපාකෑමට උත්සාහ දරයි

ගිම්හාන හෝ මොසම් කාලයේදී ගුහුණු සතුන් බිත්තර 10ක් පමණ ගසු බෙනයක හොඳින් සැඟවුන ස්ථානයක දමයි. වගා බිම් හා මහා මාර්ග වලදී මොවුන් වැඩි ප්‍රමාණයක් මරණයට පත්වන අතර විශ අධික පොලඟා හ‍ා වරදවා වටහා ගැනීම නිසාද මොවුන් මරා දමා ඇත.

Thursday 26 February 2015

හිසරන් තිරාසිකයා (Orange-headed Thrush)

Orange-headed Thrush
විද්‍යාත්මක නාමය : Geokichla citrina

සාමාන්‍යයෙන් හොඳින් කැලෑව ඇති ප්‍රදේශ වල ජීවත්වේ. ඉන්දීය අර්ධද්වීපයේ හා අග්නිදිග ආසියාවේ ජීවත්වේ. සෙවණ ඇති තෙතමනය සහිත බිම් වල ජීවත්වේ. සර්වභක්‍ෂක වන මොවුන් කුඩා කෘමීන්, බිම් පණුවන් හා පළතුරු ආහාරයට ගනී. පිරිමි සතුන්ගේ ශරීරය ඉහල කොටස් විශේෂිත අළු පැහැයක් ගනී. ගැහැණු සතුන් හා පැටවුන්ගේ ශරීර ඉහල කොටස් දුඹුරු පැහැයට හුරුවේ. සම්පූර්ණ දිග 205-235mm පමණ වේ. 
Photograph by Chamara Sulakkhana
ඉන්දීය අර්ධද්වීපයේ බංගලාදේශය, ශ්‍රීලංකාව හ‍ා අග්නිදිය ආසියාවේ සිට ජාවා දූපත් දක්වා ප්‍රදේශයේ බිත්තර දැමීම වාර්තා වී තිබේ. සදාහරිත වනාන්තර ආශ්‍රිතව ජීවත්වන කුරුල්ලෙකි. තවද පඳුරු හා මීමන සහිත ප්‍රදේශ වලත් බට ගස් සහිත ප්‍රදේශ වලත් වාර්තා වී ඇත. රන්වන් පැහැති හිස ප්‍රදේශය නිසා පහසුවෙන් හඳුනාගත හැක. සිහින් හොට දුඹුරු පැහැතිය. ජෝඩු වශයෙන් හෝ තනිව දැකිය හැකි මොවුන් මඳක් ලජ්ජාශීලී කුරුල්ලෙකු ලෙස හැඳින්විය හැක. ශබ්දයක් හෝ බාධාවකදී ඉගිල යාමට ප්‍රථම මඳ වේලාවක් නිසොල්මන්ව හිඳී.
Photograph by Tony Chua
නොගැඹුරු පළල් කූඩුවක් දෙදෙනා එක්ව සාදයි. කුඩා අතු, කොලරොඩු හා මුල් කැබලි වලින් කූඩුව සාදා ගනී. මීටර 4.5 ක් පමණ ඉහලින් සාදන කූඩුව තුල සාමාන්‍යයෙන් බිත්තර 3-4ක් දමන අතර කලාතුරකින් බිත්තර 5ක් දමයි. ඒවා ක්‍රීම් පැහැය හෝ වර්ණවත් ලා නිල්, අළු හෝ කොල පැහැතිවේ. නිල් හෝ රතු දුඹුරු පැහැති පැල්ලම් විසිර තිබේ. දින 13-14කට පමණ පසු බිත්තර පුපුරා පැටවුන් පැමිණේ. තවත් දින 12කින් පැටවුන් කූඩුවෙන් පිටව යයි. ගෝමර කොණ්ඩ කොහා යන කුරුල්ලාද අනවසරයෙන් මොවුන්ගේ කූඩු තුල බිත්තර දමයි. තඹල-පිය කොණ්ඩ කොහා යන කුරුල්ලාද කලාතුරකින් මොවුන්ගේ කූඩු තුල අනවසරයෙන් බිත්තර දමයි. නමුදු මොවුන්ගේ පැටවුන් ජීවත් වන්නේ කලාතුරකිනි. එයට හේතු වන්නේ කොහාගේ ආහාර ක්‍රමය තිරාසිකයන්ට වඩා වෙනස්‍වීමයි.
Photograph by Chamara Sulakkhana
Photograph by Chamara Sulakkhana

Wednesday 25 February 2015

පස්බරු පියාසියා (Five bar Swordtail)

Five bar Swordtail
විද්‍යාත්මක නාමය : Graphium antiphates ceylonicus or Pathysa antiphates ceylonicus

දකුණු හා අග්නිදිග ආසියාවේ ජීවත්වේ. ගැහැණූ සතුන් හා පිරිමි සතුන් එක හා සමානවම දිස්වේ. ගැහැණු සතුන්ගේ හා පිරිමි සත්න්ගේ පියාපත් උඩ පැත්ත සුදු පැහැතිය. පූර්ව පියාපත යටි පැත්ත කළු පැහැති පටි වලින් ප්‍රධාන කොටස් පහකට වෙන්ව පවතී. පියාපත් යටි පැත්ත ශරීර ආසන්නයේ කොල පැහැති කොටස්ද පියාපත් කෙලවර කොලපැහැයක්ද දැකිය හැක. අපර පියාපත මධ්‍යය කහ පැහැයට හුරුය. අපර පියාපත තුනෙන් දෙකක් පමණ සුදු පැහැ වන අතර යටි පැත්තේ කළු ලප විනිවිධ දැකිය හැක. අපර පියාපත කඩුවක් වැනි දිගු කොටසක් වන අතර එහි දාරය අළු - කළු පැහැතිය. කෙලවර සුදු පැහැයක් දැකිය හැක. ශරීර යට පැත්ත සුදු පැහැ වන අතර ශරීරයේ හරහා කළු පැහැති ඉරක් දැකිය හැක.
Photograph by Udaya Chanaka
බොහෝ විට දිය කඩිති අසල දැකිය හැකි වන අතර ප්‍රධාන වැසි වනාන්තර තුල වාර්තා වී ඇත. එයද මුහුදු මට්ටමේ සිට මීටර 400ක් තරම් උසකදීය. දළඹුවා පළමු අවධියේදී සුදු පැහැ වන අතර පසුව කහ පැයට හැරේ.  පිලා කොෂ්ඨය සාමාන්‍යයෙන් සිල්ක් වැනි තන්තුවකින් එල්ලී පවතී. 
Photograph by Amila Gunathilaka
රතු දත්ත පොත අනුව තර්ජනයට ලක්වූ විශේශයක් ලෙස මෙම Graphium antiphates කුලයේ Graphium antiphates ceylonicus සත්ත්වයා හඳුන්වා දිය හැක.

Sunday 22 February 2015

පඳුරු මාපිලා (Barnes's Cat Snake)

Barnes's Cat Snake
විද්‍යාත්මක නාමය : Boiga barnesii
ලංකාවට අ‍ාවේණික වූ සර්පයෙකි. මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් දක්වා පහත් බිම් වල වාසය කරයි. මාතලේ, නුවර, ගන්නෝරුව, ගම්පොල, බලංගොඩ, ලබුගම සහ සිංහරාජ වැනි ප්‍රදේශ වල වාර්තා වේ. මෙය ලංකාවේ සිටින කුඩාම මාපිල් විශේෂය වන අතර අඩි දෙකක් පමණ දිගට වර්ධනය වේ. සාමාන්‍යයෙන් වනාන්තර තුල ජීවත් වුවත් කලාතුරකින් මිනිස් වාසස්ථාන වල දැකිය හැක.
Photograph by Mendis Wikramasinghe
නිශාචරව වනාන්තර වල කුඩා ගස්මත ජීවත්වේ. ගස්වල බෙන හෝ පැලුම් අතර සැඟවී සිටින අතර කලාතුරකින් සපා කෑමට උත්සාහ කරන සර්පයෙකි. උග්‍ර විෂ සහිත බවට මතයක් මිනිසුන් අතර ඇතත් සුළු විෂ සහිත සර්පයෙකි. දෂ්ඨ කිරීමෙන් මරණය ඇති නොවේ.
රන්වන් රතු-දුඹුරු ශරීරයේ තද දුඹුරු පැල්ලම් සලකුණු බෙල්ලේ සිට වල්ගය තෙක් විහිදී ඇත. හිස දම් පැහැයට හුරු කළු පැහැතිය. ඇස අළු පැහැතිය. ශරීරයේ යටි පැත්ත අළු දුඹුරු පැහැති තිත් විසිර තිබේ. ජනවාරි මාසයේ බිත්තර 2-4ක් පමණ දමයි. කටුස්සන් හා හූනන් ගොදුරු කර ගනී.

Wednesday 18 February 2015

නිදි මාපිලා (Sri Lankan Cat Snake)

Sri Lankan Cat Snake
විද්‍යාත්මක නාමය : Boiga ceylonensis

ශ්‍රී ලංකාවේ මීටර් 1500 කට වඩා අඩු පහත් බිම් වලත් ඉන්දියාවේ බටහිර  ප්‍රදේශ වලත් දකින්න පුළුවන් සර්පයෙක්. මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් දරන නිදි මාපිලා අඩි හතරක් පමණ දිගකට වර්ධනය වෙනවා. හිස පැහැදිලිව ගෙලෙන් වෙන් වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයේ ඇස් මෙන්ම ඒ තුළ පිහිටි තිරස් කනිණිකාවක්ද දැක ගන්න පුලුවන්. පූසෙකුගේ ඇසට සමාන මේ පිහිටීම නිසා Cat Snake යන නම මේ සර්පයාට  ලැබිල කියල හි‍තන්න පුළුවන්. ලංකාවේ වාර්තාවෙන මාපිල් විශේෂ පහෙන් විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නේත් නිදි මාපිලන්.
Photograph by Sajith Fernando
ශරීරය අලු පැහැයට හෝ දුඹුරු පාටට හුරු පැහැයක් ගන්නා අතර තද දුඹුරු කලු පැහැයට හුරු විශාල තිත් ශරීරය පුරා විසිරී තියෙනවා. බඳ ප්‍රදේශයේදී මේ තිත් ප්‍රමාණයෙන් විශාල වෙනවා. හිසේ පිහිටා තියන මිනිස් පෙනහැල්ලක හැඩැති කලු පැල්ලමද මුඛය දෙපස සිට ඇස් හරහා දිවෙන තද දුඹුරු කලු රේඛාවද මේ සර්පයා හදුනා ගන්න උදව් වෙනවා. නිශාචර සර්පයෙක් වෙන නිදි මාපිලා ඉතාමත් කලාතුරකින් දිවා කල  දැක ගන්න පුලුවන්. පඳුරු ආශ්‍රිතව දිවි ගෙවන මේ සර්පයා හූනන් මීයන් වැනි සතුන් දඩයම සදහා මිනිස් වාසස්ථාන වලටද පැමිනෙනවා. තදින් කුපිත වූ අවස්තාවල ශරීරයේ ඉදිරි පෙදෙස දගරයක් ආකාරයට සකස් කරගෙන වලිගයද සොලවමින් සපා කෑමට පනිනවා. වලිගයෙන් ගස්වල එල්ලී සිටීමේ හැකියාවද මෙයාට තියෙනවා. සාමාන්‍යයෙන් හොඳින් වැඩුනු සතෙක් 120cm පමණ වෙනවා.
Photograph by Mendis Wickramasinghe

මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිත සර්පයෙක්. මොවුන් සතුව ඩුවනෝයි ග්‍රන්ථියක් සහ මුඛයේ පසු පස ආසන්නයේ පිහිටි ඔපිස්තොග්ලයිපස් වර්ගයේ විකරණය වූ දල දෙකක් පිහිටා ඇත. කලබල වූ විට හිස පැතලි කර ශරීරයේ පුර්ව කොටස පුම්බා දඟරගසා වලිග කොන සොලවමින් සපා කෑමට සැරසේ. නමුත් බාධාවක් හෝ අවදානම් ස්වාභාවයක් නොවේ නම් මඟ හැර යෑම මොවුන්ගේ ස්වභාවයයි. වැඩුනු ගැහැනු සර්පයෙක් පෙබරවාරි අප්‍රේල් අතර කාල වලදී වරකට බිත්තර 5 ත් 15ත් අතර සංඛ්‍යාවක් දැමීම සිදු කරනවා. වර්ධනය වූ පිරිමි සතුන් සාමාන්‍යයෙන් ගැහැනු සතෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල වෙනවා. නිදි මාපිලා ආහාර ලෙසට මීයන් කුරුල්ලන් හූනන් දඩයම් කිරීම සිදු කරනවා.


නිදි මාපිලා දෂ්ඨ කළ පසු රෝගියා නින්‌දේදීම මිය යන බවට මිත්‍යා විශ්වාසයක් ඇතැම් මිනිසුන් තුළ පවතිනවා. ‌මොහු නිශාචර සර්ප‌යෙක් නිසා රාත්‍රියට ක්‍රියාශිලී ‌වෙනවා. එනිසා මිනිසුන්ට පහර දීම්ද සිදු වෙන්නෙත් රාත්‍රි කාල‌යටයි. නමුත් නින්‌දේදී මියයන මතය පදනම් විරහිතයි. සුලු විශ ඇති නමුත් විශාල වශයෙන් මිනිසුන් විසින් මරා දමන සත්ත්ව විශේෂයක් වුනත් පරිසරයේ සමතුලිතතාව රැක ගැනීමට විශාල වශයෙන් දායක වන සත්ත්වයෙක්.

Tuesday 17 February 2015

සර්පයින් ගැන පොඩි සටහනක්...


ලංකාවේ වෙසෙන බොහෝමයක් පිරිස් සර්පයින් හඳුනා ගැනීම ගැන දන්නේ නැහැ. බොහෝ වෙලාවට විෂ අධික යැයි කියමින් මරා දමන්නේ විෂ රහිත සර්ප විශේෂයක්. ඒ නිසා මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ලංකාවේ ඉන්න සර්පයින් ටික ගැන පුංචි හැඳින්වීමක් කරන්න.

සර්පයෝ බොහෝ වෙලාවට විෂ නිදහස් කරන්නේ ගොදුර අඩපණ කරල අල්ල ගන්න එහෙමත් නැතිනම් ගොදුරු කරගත්තු ආහාරය දිරවන්න. විෂ කියන්නේ ප්‍රොටීන් මිශ්‍රණයක්. ඒ වගේම සර්ප විෂ වල එන්සයිම ප්‍රභේද 30ක් විතර තියෙනවා. මෙයින් තුනක් විශේෂිතයි. පළවෙනි එක තමයි හයලුරොනිඩේස් එන්සයිමය මේක තියෙනවා නම් සර්ප විෂ ශරීරය පුරා පතුරුවනවා. සෛල එකට බැඳ තබන හයලුරොනික් අම්ලය විනාශ කරල පටක ලිහිල් කරනවා. දෙවැනි එක තමයි ෆොස්ෆොලිපේස් එන්සයිමය. මේක තිබෙනවා නම් විෂ ගමන් ගන්නා මගදී හමුවන දේහ සෛල වල සෛල පටක විනාශ කරනවා. තුන්වෙනි එක තමයි ප්‍රෝටිනේසස් එන්සයිමය. මේක තියෙද්දී දෂ්ටනය අවට පටක කුණු වීමත් රුධිර කේශ නාලිකා බිඳ දමමින් ලේ ගැලීමත් සිදු කරනවා.

ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ 94ක් විතර ඉන්නවා. ඔවුන් ජීවත් වෙන පරිසරය අනුව රුක් වාසී, පාංශු වාසීන්, භෞමික හා ජලජ වශයෙන් වර්ග කරන්න පුළුවන්. එයින් 35ක් විෂ සහිත වෙනවා විතරක් නෙවෙයි එයින් 20ක් මාරාන්තික විෂ සහිතයි. එයිනුත් 13ක් මුහුදු සර්පයින්. විශේෂ 7ක් විතරයි මාරාන්තික විෂ සහිත ගොඩබිම ජීවත් වෙන්නේ.

උග්‍ර විෂ සහිත සර්පයෝ..

  • තෙල් කරවලා / මග මරුවා Indian krait blue krait (Bungarus caeruleus)
  • නාගයා Cobra (Naja Naja)
  • වැලි පොළඟා Saw-scaled Viper (Echis carinatus carinatus
  • තිත් පොළඟා Russell's Viper (Daboia russelli
  • පොළොන් තෙලිස්සා / කුණ කටුවා Merrem's hump-nosed Viper (Hypnale hypnale)
  • මුදු කරවැලා Ceylon krait (Bungarus ceylonicus)
  • දෙපත් කළුවා Sri Lanka Coral Snake (Calliphis melanurus sinhaleus)

මද සහ සුළු විෂ සර්පයෝ

විෂ නැති සර්පයෝ

  • පුල්ලි දත් කැටියා Oligodon sublineatus
  • ආහර කුක්කා Amphiesma stolata
  • කොට / වැලි පිඹුරා Enx conica brevis
  • කට කළුවා Elaphe helena helena
  • කුරුන් කරවලා Haplocerecus ceylonesis
  • දිය වර්ණ Atretium schistosum
  • දෙපත් නයා Chlindrophis maculata
  • පිඹුරා Python molurus molurus
  • ගැට රදනකයා Dryocalamus nympha
  • කබර රදනකයා Lycodon striatus sinhaleyus
  • ගැරඬියා Coluber nucosus maximus
  • දෙපත් තුඩුල්ලා Rhinophis trevelyana
  • වයිරි දත් කැටියා Oligodon taeniolatus ceylonicus
  • මහ බිම් උල්ලා Pseudotyphlops philippinus
  • දිය බරියා / දිය නයා Xenochrophis piscotor discator
  • රත් දණ්ඩා / ලේ මැඩිල්ලා Aspidura brachyorrhos
  • පලා බරියා Macrophisthodon
  • අරනි දත් කැටියා Oligodon arnesis
  • දිය පොළඟා Xenochrophis asperrimus
  • රෙදි නයා / දිය ගොයා Acrochordus granulatus
  • දුමුටු කණ උල්ලා Ramphotyphlops braminus
  • අළු රදනකයා Lycodon aulicus
  • ඩුමන්ඩ්හයිගේ වල්ගා ඇබයා Rhinophis dnanmondhavi wall
  • තර හාල් දණ්ඩා Dendrelathis tristisමේ

    උත්සාහ ගත්තේ සර්පයින් ගැන සියල්ල විස්තර කරන්න නම් නෙවෙයි. ඒත් මේ සතුන් හඳුනා ගන්න හා ඔවුන්ගේ විශේෂ ලක්‍ෂණ ඉදිරියේ ලිපි වලින් ලියන්න බලාපොරොත්තු වෙනවා.