Thursday 26 February 2015

හිසරන් තිරාසිකයා (Orange-headed Thrush)

Orange-headed Thrush
විද්‍යාත්මක නාමය : Geokichla citrina

සාමාන්‍යයෙන් හොඳින් කැලෑව ඇති ප්‍රදේශ වල ජීවත්වේ. ඉන්දීය අර්ධද්වීපයේ හා අග්නිදිග ආසියාවේ ජීවත්වේ. සෙවණ ඇති තෙතමනය සහිත බිම් වල ජීවත්වේ. සර්වභක්‍ෂක වන මොවුන් කුඩා කෘමීන්, බිම් පණුවන් හා පළතුරු ආහාරයට ගනී. පිරිමි සතුන්ගේ ශරීරය ඉහල කොටස් විශේෂිත අළු පැහැයක් ගනී. ගැහැණු සතුන් හා පැටවුන්ගේ ශරීර ඉහල කොටස් දුඹුරු පැහැයට හුරුවේ. සම්පූර්ණ දිග 205-235mm පමණ වේ. 
Photograph by Chamara Sulakkhana
ඉන්දීය අර්ධද්වීපයේ බංගලාදේශය, ශ්‍රීලංකාව හ‍ා අග්නිදිය ආසියාවේ සිට ජාවා දූපත් දක්වා ප්‍රදේශයේ බිත්තර දැමීම වාර්තා වී තිබේ. සදාහරිත වනාන්තර ආශ්‍රිතව ජීවත්වන කුරුල්ලෙකි. තවද පඳුරු හා මීමන සහිත ප්‍රදේශ වලත් බට ගස් සහිත ප්‍රදේශ වලත් වාර්තා වී ඇත. රන්වන් පැහැති හිස ප්‍රදේශය නිසා පහසුවෙන් හඳුනාගත හැක. සිහින් හොට දුඹුරු පැහැතිය. ජෝඩු වශයෙන් හෝ තනිව දැකිය හැකි මොවුන් මඳක් ලජ්ජාශීලී කුරුල්ලෙකු ලෙස හැඳින්විය හැක. ශබ්දයක් හෝ බාධාවකදී ඉගිල යාමට ප්‍රථම මඳ වේලාවක් නිසොල්මන්ව හිඳී.
Photograph by Tony Chua
නොගැඹුරු පළල් කූඩුවක් දෙදෙනා එක්ව සාදයි. කුඩා අතු, කොලරොඩු හා මුල් කැබලි වලින් කූඩුව සාදා ගනී. මීටර 4.5 ක් පමණ ඉහලින් සාදන කූඩුව තුල සාමාන්‍යයෙන් බිත්තර 3-4ක් දමන අතර කලාතුරකින් බිත්තර 5ක් දමයි. ඒවා ක්‍රීම් පැහැය හෝ වර්ණවත් ලා නිල්, අළු හෝ කොල පැහැතිවේ. නිල් හෝ රතු දුඹුරු පැහැති පැල්ලම් විසිර තිබේ. දින 13-14කට පමණ පසු බිත්තර පුපුරා පැටවුන් පැමිණේ. තවත් දින 12කින් පැටවුන් කූඩුවෙන් පිටව යයි. ගෝමර කොණ්ඩ කොහා යන කුරුල්ලාද අනවසරයෙන් මොවුන්ගේ කූඩු තුල බිත්තර දමයි. තඹල-පිය කොණ්ඩ කොහා යන කුරුල්ලාද කලාතුරකින් මොවුන්ගේ කූඩු තුල අනවසරයෙන් බිත්තර දමයි. නමුදු මොවුන්ගේ පැටවුන් ජීවත් වන්නේ කලාතුරකිනි. එයට හේතු වන්නේ කොහාගේ ආහාර ක්‍රමය තිරාසිකයන්ට වඩා වෙනස්‍වීමයි.
Photograph by Chamara Sulakkhana
Photograph by Chamara Sulakkhana

Wednesday 25 February 2015

පස්බරු පියාසියා (Five bar Swordtail)

Five bar Swordtail
විද්‍යාත්මක නාමය : Graphium antiphates ceylonicus or Pathysa antiphates ceylonicus

දකුණු හා අග්නිදිග ආසියාවේ ජීවත්වේ. ගැහැණූ සතුන් හා පිරිමි සතුන් එක හා සමානවම දිස්වේ. ගැහැණු සතුන්ගේ හා පිරිමි සත්න්ගේ පියාපත් උඩ පැත්ත සුදු පැහැතිය. පූර්ව පියාපත යටි පැත්ත කළු පැහැති පටි වලින් ප්‍රධාන කොටස් පහකට වෙන්ව පවතී. පියාපත් යටි පැත්ත ශරීර ආසන්නයේ කොල පැහැති කොටස්ද පියාපත් කෙලවර කොලපැහැයක්ද දැකිය හැක. අපර පියාපත මධ්‍යය කහ පැහැයට හුරුය. අපර පියාපත තුනෙන් දෙකක් පමණ සුදු පැහැ වන අතර යටි පැත්තේ කළු ලප විනිවිධ දැකිය හැක. අපර පියාපත කඩුවක් වැනි දිගු කොටසක් වන අතර එහි දාරය අළු - කළු පැහැතිය. කෙලවර සුදු පැහැයක් දැකිය හැක. ශරීර යට පැත්ත සුදු පැහැ වන අතර ශරීරයේ හරහා කළු පැහැති ඉරක් දැකිය හැක.
Photograph by Udaya Chanaka
බොහෝ විට දිය කඩිති අසල දැකිය හැකි වන අතර ප්‍රධාන වැසි වනාන්තර තුල වාර්තා වී ඇත. එයද මුහුදු මට්ටමේ සිට මීටර 400ක් තරම් උසකදීය. දළඹුවා පළමු අවධියේදී සුදු පැහැ වන අතර පසුව කහ පැයට හැරේ.  පිලා කොෂ්ඨය සාමාන්‍යයෙන් සිල්ක් වැනි තන්තුවකින් එල්ලී පවතී. 
Photograph by Amila Gunathilaka
රතු දත්ත පොත අනුව තර්ජනයට ලක්වූ විශේශයක් ලෙස මෙම Graphium antiphates කුලයේ Graphium antiphates ceylonicus සත්ත්වයා හඳුන්වා දිය හැක.

Sunday 22 February 2015

පඳුරු මාපිලා (Barnes's Cat Snake)

Barnes's Cat Snake
විද්‍යාත්මක නාමය : Boiga barnesii
ලංකාවට අ‍ාවේණික වූ සර්පයෙකි. මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් දක්වා පහත් බිම් වල වාසය කරයි. මාතලේ, නුවර, ගන්නෝරුව, ගම්පොල, බලංගොඩ, ලබුගම සහ සිංහරාජ වැනි ප්‍රදේශ වල වාර්තා වේ. මෙය ලංකාවේ සිටින කුඩාම මාපිල් විශේෂය වන අතර අඩි දෙකක් පමණ දිගට වර්ධනය වේ. සාමාන්‍යයෙන් වනාන්තර තුල ජීවත් වුවත් කලාතුරකින් මිනිස් වාසස්ථාන වල දැකිය හැක.
Photograph by Mendis Wikramasinghe
නිශාචරව වනාන්තර වල කුඩා ගස්මත ජීවත්වේ. ගස්වල බෙන හෝ පැලුම් අතර සැඟවී සිටින අතර කලාතුරකින් සපා කෑමට උත්සාහ කරන සර්පයෙකි. උග්‍ර විෂ සහිත බවට මතයක් මිනිසුන් අතර ඇතත් සුළු විෂ සහිත සර්පයෙකි. දෂ්ඨ කිරීමෙන් මරණය ඇති නොවේ.
රන්වන් රතු-දුඹුරු ශරීරයේ තද දුඹුරු පැල්ලම් සලකුණු බෙල්ලේ සිට වල්ගය තෙක් විහිදී ඇත. හිස දම් පැහැයට හුරු කළු පැහැතිය. ඇස අළු පැහැතිය. ශරීරයේ යටි පැත්ත අළු දුඹුරු පැහැති තිත් විසිර තිබේ. ජනවාරි මාසයේ බිත්තර 2-4ක් පමණ දමයි. කටුස්සන් හා හූනන් ගොදුරු කර ගනී.

Wednesday 18 February 2015

නිදි මාපිලා (Sri Lankan Cat Snake)

Sri Lankan Cat Snake
විද්‍යාත්මක නාමය : Boiga ceylonensis

ශ්‍රී ලංකාවේ මීටර් 1500 කට වඩා අඩු පහත් බිම් වලත් ඉන්දියාවේ බටහිර  ප්‍රදේශ වලත් දකින්න පුළුවන් සර්පයෙක්. මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් දරන නිදි මාපිලා අඩි හතරක් පමණ දිගකට වර්ධනය වෙනවා. හිස පැහැදිලිව ගෙලෙන් වෙන් වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයේ ඇස් මෙන්ම ඒ තුළ පිහිටි තිරස් කනිණිකාවක්ද දැක ගන්න පුලුවන්. පූසෙකුගේ ඇසට සමාන මේ පිහිටීම නිසා Cat Snake යන නම මේ සර්පයාට  ලැබිල කියල හි‍තන්න පුළුවන්. ලංකාවේ වාර්තාවෙන මාපිල් විශේෂ පහෙන් විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නේත් නිදි මාපිලන්.
Photograph by Sajith Fernando
ශරීරය අලු පැහැයට හෝ දුඹුරු පාටට හුරු පැහැයක් ගන්නා අතර තද දුඹුරු කලු පැහැයට හුරු විශාල තිත් ශරීරය පුරා විසිරී තියෙනවා. බඳ ප්‍රදේශයේදී මේ තිත් ප්‍රමාණයෙන් විශාල වෙනවා. හිසේ පිහිටා තියන මිනිස් පෙනහැල්ලක හැඩැති කලු පැල්ලමද මුඛය දෙපස සිට ඇස් හරහා දිවෙන තද දුඹුරු කලු රේඛාවද මේ සර්පයා හදුනා ගන්න උදව් වෙනවා. නිශාචර සර්පයෙක් වෙන නිදි මාපිලා ඉතාමත් කලාතුරකින් දිවා කල  දැක ගන්න පුලුවන්. පඳුරු ආශ්‍රිතව දිවි ගෙවන මේ සර්පයා හූනන් මීයන් වැනි සතුන් දඩයම සදහා මිනිස් වාසස්ථාන වලටද පැමිනෙනවා. තදින් කුපිත වූ අවස්තාවල ශරීරයේ ඉදිරි පෙදෙස දගරයක් ආකාරයට සකස් කරගෙන වලිගයද සොලවමින් සපා කෑමට පනිනවා. වලිගයෙන් ගස්වල එල්ලී සිටීමේ හැකියාවද මෙයාට තියෙනවා. සාමාන්‍යයෙන් හොඳින් වැඩුනු සතෙක් 120cm පමණ වෙනවා.
Photograph by Mendis Wickramasinghe

මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිත සර්පයෙක්. මොවුන් සතුව ඩුවනෝයි ග්‍රන්ථියක් සහ මුඛයේ පසු පස ආසන්නයේ පිහිටි ඔපිස්තොග්ලයිපස් වර්ගයේ විකරණය වූ දල දෙකක් පිහිටා ඇත. කලබල වූ විට හිස පැතලි කර ශරීරයේ පුර්ව කොටස පුම්බා දඟරගසා වලිග කොන සොලවමින් සපා කෑමට සැරසේ. නමුත් බාධාවක් හෝ අවදානම් ස්වාභාවයක් නොවේ නම් මඟ හැර යෑම මොවුන්ගේ ස්වභාවයයි. වැඩුනු ගැහැනු සර්පයෙක් පෙබරවාරි අප්‍රේල් අතර කාල වලදී වරකට බිත්තර 5 ත් 15ත් අතර සංඛ්‍යාවක් දැමීම සිදු කරනවා. වර්ධනය වූ පිරිමි සතුන් සාමාන්‍යයෙන් ගැහැනු සතෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල වෙනවා. නිදි මාපිලා ආහාර ලෙසට මීයන් කුරුල්ලන් හූනන් දඩයම් කිරීම සිදු කරනවා.


නිදි මාපිලා දෂ්ඨ කළ පසු රෝගියා නින්‌දේදීම මිය යන බවට මිත්‍යා විශ්වාසයක් ඇතැම් මිනිසුන් තුළ පවතිනවා. ‌මොහු නිශාචර සර්ප‌යෙක් නිසා රාත්‍රියට ක්‍රියාශිලී ‌වෙනවා. එනිසා මිනිසුන්ට පහර දීම්ද සිදු වෙන්නෙත් රාත්‍රි කාල‌යටයි. නමුත් නින්‌දේදී මියයන මතය පදනම් විරහිතයි. සුලු විශ ඇති නමුත් විශාල වශයෙන් මිනිසුන් විසින් මරා දමන සත්ත්ව විශේෂයක් වුනත් පරිසරයේ සමතුලිතතාව රැක ගැනීමට විශාල වශයෙන් දායක වන සත්ත්වයෙක්.

Tuesday 17 February 2015

සර්පයින් ගැන පොඩි සටහනක්...


ලංකාවේ වෙසෙන බොහෝමයක් පිරිස් සර්පයින් හඳුනා ගැනීම ගැන දන්නේ නැහැ. බොහෝ වෙලාවට විෂ අධික යැයි කියමින් මරා දමන්නේ විෂ රහිත සර්ප විශේෂයක්. ඒ නිසා මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ලංකාවේ ඉන්න සර්පයින් ටික ගැන පුංචි හැඳින්වීමක් කරන්න.

සර්පයෝ බොහෝ වෙලාවට විෂ නිදහස් කරන්නේ ගොදුර අඩපණ කරල අල්ල ගන්න එහෙමත් නැතිනම් ගොදුරු කරගත්තු ආහාරය දිරවන්න. විෂ කියන්නේ ප්‍රොටීන් මිශ්‍රණයක්. ඒ වගේම සර්ප විෂ වල එන්සයිම ප්‍රභේද 30ක් විතර තියෙනවා. මෙයින් තුනක් විශේෂිතයි. පළවෙනි එක තමයි හයලුරොනිඩේස් එන්සයිමය මේක තියෙනවා නම් සර්ප විෂ ශරීරය පුරා පතුරුවනවා. සෛල එකට බැඳ තබන හයලුරොනික් අම්ලය විනාශ කරල පටක ලිහිල් කරනවා. දෙවැනි එක තමයි ෆොස්ෆොලිපේස් එන්සයිමය. මේක තිබෙනවා නම් විෂ ගමන් ගන්නා මගදී හමුවන දේහ සෛල වල සෛල පටක විනාශ කරනවා. තුන්වෙනි එක තමයි ප්‍රෝටිනේසස් එන්සයිමය. මේක තියෙද්දී දෂ්ටනය අවට පටක කුණු වීමත් රුධිර කේශ නාලිකා බිඳ දමමින් ලේ ගැලීමත් සිදු කරනවා.

ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ 94ක් විතර ඉන්නවා. ඔවුන් ජීවත් වෙන පරිසරය අනුව රුක් වාසී, පාංශු වාසීන්, භෞමික හා ජලජ වශයෙන් වර්ග කරන්න පුළුවන්. එයින් 35ක් විෂ සහිත වෙනවා විතරක් නෙවෙයි එයින් 20ක් මාරාන්තික විෂ සහිතයි. එයිනුත් 13ක් මුහුදු සර්පයින්. විශේෂ 7ක් විතරයි මාරාන්තික විෂ සහිත ගොඩබිම ජීවත් වෙන්නේ.

උග්‍ර විෂ සහිත සර්පයෝ..

  • තෙල් කරවලා / මග මරුවා Indian krait blue krait (Bungarus caeruleus)
  • නාගයා Cobra (Naja Naja)
  • වැලි පොළඟා Saw-scaled Viper (Echis carinatus carinatus
  • තිත් පොළඟා Russell's Viper (Daboia russelli
  • පොළොන් තෙලිස්සා / කුණ කටුවා Merrem's hump-nosed Viper (Hypnale hypnale)
  • මුදු කරවැලා Ceylon krait (Bungarus ceylonicus)
  • දෙපත් කළුවා Sri Lanka Coral Snake (Calliphis melanurus sinhaleus)

මද සහ සුළු විෂ සර්පයෝ

විෂ නැති සර්පයෝ

  • පුල්ලි දත් කැටියා Oligodon sublineatus
  • ආහර කුක්කා Amphiesma stolata
  • කොට / වැලි පිඹුරා Enx conica brevis
  • කට කළුවා Elaphe helena helena
  • කුරුන් කරවලා Haplocerecus ceylonesis
  • දිය වර්ණ Atretium schistosum
  • දෙපත් නයා Chlindrophis maculata
  • පිඹුරා Python molurus molurus
  • ගැට රදනකයා Dryocalamus nympha
  • කබර රදනකයා Lycodon striatus sinhaleyus
  • ගැරඬියා Coluber nucosus maximus
  • දෙපත් තුඩුල්ලා Rhinophis trevelyana
  • වයිරි දත් කැටියා Oligodon taeniolatus ceylonicus
  • මහ බිම් උල්ලා Pseudotyphlops philippinus
  • දිය බරියා / දිය නයා Xenochrophis piscotor discator
  • රත් දණ්ඩා / ලේ මැඩිල්ලා Aspidura brachyorrhos
  • පලා බරියා Macrophisthodon
  • අරනි දත් කැටියා Oligodon arnesis
  • දිය පොළඟා Xenochrophis asperrimus
  • රෙදි නයා / දිය ගොයා Acrochordus granulatus
  • දුමුටු කණ උල්ලා Ramphotyphlops braminus
  • අළු රදනකයා Lycodon aulicus
  • ඩුමන්ඩ්හයිගේ වල්ගා ඇබයා Rhinophis dnanmondhavi wall
  • තර හාල් දණ්ඩා Dendrelathis tristisමේ

    උත්සාහ ගත්තේ සර්පයින් ගැන සියල්ල විස්තර කරන්න නම් නෙවෙයි. ඒත් මේ සතුන් හඳුනා ගන්න හා ඔවුන්ගේ විශේෂ ලක්‍ෂණ ඉදිරියේ ලිපි වලින් ලියන්න බලාපොරොත්තු වෙනවා.

Monday 16 February 2015

පිළිලරිසියා (Common Jezebel)

Common Jezebel
විද්‍යාත්මක නම : Delias eucharis

දකුණු හා අග්නිදිග ආසියාවේ වාර්ථාවේ. විශේෂයෙන් තෙතමනය නැති පරිසරය ඇති ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මියන්මාරය හා තායිලන්තය වැනි රටවල් වල වාර්තාවේ. තටු විහිදූ පසු 6.5-8.5cm දක්වා ප්‍රමාණයක් දක්වා වැඩේ. පිරිමි සතුන්ගේ උඩ පැත්ත සුදු පැහැතිය. ශිර්ෂ පියාපත් වල සුදු පැහැති වයිරමක් ඇති අතර ඒවා තුනී කලු මායිම් ඇති ත්‍රිකෝණාකාරව මෙන් පෙනෙන සුදු පැහැති ලප වේ. අපර තටුවේ පූර්ව තටුවේ මෙන් රේඛා ඇති අතර පියාපත යට පැත්තේ පැහැය හා මිශ්‍රව ල‍ා රෝස පැහැයක් දැකිය හැක. පූර්ව පියාපත යට පැත්ත උඩ පැත්තට සමාන වන අතර අපර පියාපත තුල ශරීර ආසන්නයේ ඇති ලප තුල කහ පැහැය හා අයිනට වෙන්නට රතු පැහැ ලප දකින්නට ලැබේ. ගැහැණු සතුන් පිරිමි සතුන්ට සමාන වුවත් කලු පැහැ රේඛා වල තද පැහැයක් දැකිය හැක.
Photograph by Chamara Sulakkhana
සාමාන්‍යයෙන් සංදාරක වර්ගයේ සමනලයකු වන අතර කඳු වනාන්තර, තෙත් වනාන්තර, වියලි තණ බිම් වලත් දැකිය හැකි අතර ඉන්දියා‍ව පුරා කාන්තාර බිම් වල හැරෙන්නට විසිර පවතී. අඩි 7000ක් දක්වා උස කඳු වලද වාර්තා වී ඇත. ගැහැණු සතුන් නිතර පියා සරමින් ඔවුන්ගේ යැපෙන්නා වූ ශාක සොයමින් සිටිනු දැකිය හැකි වුවත් පිරිමි සතුන් මල් රොන් උරමින් සිටිනු දැකිය හැක. නැවතී සිටිද්දී සාමාන්‍යයෙන් පියාපත් හකුළුවා සිටින අතර ව්ණවත් බව නිසාවෙන් පහසුවෙන් හඳුනාගත හැක.
Photograph by Dhilip De Alwis
Photograph by Nirosh Dulanga Dodamgoda










අවුරුද්දේ නියමිත කාලයක් නොමැතිව අවුරුද්ද පුරා බෝවීම සිදුවේ. යැනේනා වූ ශාක පත්‍ර යටි පැත්තේ  බිත්තර පොකුරු වශයෙන් දමන අතර සාමාන්‍යයෙන් ‍බිත්තර පොකුරක බිත්තර 10-20ත් අතර ගණනක් දැකිය හැක. දළඹුවන් කහ දුඹුරු පැහැ වන අතර කලු පැහැති හිසක් තිබේ. ශරීරයේ සුදු පැහැ රෝම තිබේ. ටික කලෙකින් තෙල් වැනි සමකින් යුතු කළු පැහැ හිසක් සහිත වන අතර රෝම වල ප්‍රමාණය අඩුවේ. මොවුන් රංචු වශයෙන් නොසිට කඳ දිගේ බඩගාමින් වෙනත් පත්‍ර කරා ගමන් කරයි. කෝශ අවස්ථාවේදී හිස උඩට සිටින සේ උරස පැහැදිලිව හඳුනාගත හැකි ආකා‍රයේ කෝශයක් සාදා ගනී. එය දිලිසෙන කහ පැහැති වන අතර කලු පැහැ ලප හා ඉරි තිබේ. 


Sunday 15 February 2015

ගිණිමහා (Lionfish)

Lionfish
විද්‍යාත්මක නාමය : Pterois

විෂ සහිත සාගරවාසී මත්‍ස්‍ය විශේෂයකි. ස්වභාවිකව ඉන්දු පැසිෆික් මුහුදු සීමාවේ ජීවත්වේ. වෙනත් නම් ‍ලෙස Zebrafish, firefish, turkeyfish හෝ butterfly-cod යන නම් වලින්ද හැඳින්වේ. මොවුන්ගේ විහිදුනු කූරු වැනි වරල් නිසාත් විශේෂිත කැපීපෙනෙන වර්ණ නිසාත් පහසුවෙන් හඳුනාගත හැක. සාමාන්‍යයෙන් රතු, සුදු, ක්‍රීම් පැහැය හෝ කලු පැහැයෙන් වූ වර්ණ පටි ශරීරය පුරා විහිද ඇත. මින්මැඳුරු මත්ස්‍යයෙක් ලෙස ගෙනයන මොවුන් දැන් ආක්‍රමණික මත්ස්‍ය විහේෂයක් වශයෙන් බටහිර අත්ලාන්තික් මුහුදේ හා කැරබියන් මුහුදේ ව්‍යාප්ත වෙමින් පවතී. දැනට මොවුන්ගේ විශේෂ 11ක් පමණ සොයාගෙන ඇත.
Photograph by Thimira Kavish KD
අත්ලාන්තික් සාගරයේ මොවුන්ගේ විශාලත්වය 5-45cm තරම් දිගින් යුතු වේ. බර 0.025-1.3kg තරම් පරාසයක වේ. ඔවුන්ගේ බාලයන්ගේ විෂ ග්‍රාහිකා වලට අමතරව විශේෂිත වූ ග්‍රාහිකාවක් ඇහේ දාරය මත තිබේ. මේවා උප විශේෂයෙන් විශේෂයට වෙනස්වේ. මෙම ග්‍රාහිකාව ගොදුර අල්ලා ගැනීමට හා ලිංගික අවස්ථාවේදී භාවිතා වේ යැයි පරික්‍ෂණ මගින් සොයා ගෙන ඇත. සාමාන්‍යයෙන් අවුරුදු 15ක් පමණ ජීවත්වේ යැයි විශ්වාස කෙරේ.  බෝවන කාලයේදී ගැහැණු සතුන් විසින් ශ්ලේෂ්මල පිරි බිත්තර පොකුරු දමයි. ඒවායේ බිත්තර 15000ක් පමණ වේ. කුඩා මසුන්, මොලුස්කාවන් ආහාරයට ගනි. තමාගේ ඇති කූරු වැනි වරල් නිසාවෙන් ජල රැලි වල නිසලව හිඳිමින් ගොදුරු එකවර ගිල දැමීමට සමත්ය.
Photograph by Seyhan Türemen
මොවුන්ගේ ස්වභාවික සතුරන් ලෙස මොරේ ආඳා, නිල්තිත් කොනට් මාපුවා වැනි සතුන් නම් කල හැක. විශ තිබුනත් මොවුන්ව දඩයම් කරන තවත් සත්ත්ව කාණ්ඩ සිටී. මෙම මත්ස්‍ය විශේෂයට විස කූරු 18ක් පිහිටා ඇත. එමඟින් මොවුන්ට කදිම ආරක්ෂාවක් සැලසේ. විස කූරු 13ක් ඉහළ නාරටියේ උඩු අතට පිහිටයි. කෙටි විස කූරු දෙකක් එක් පැත්තට එකක් වනසේ ශ්‍රෝණිය සම්බන්ධ වරල සමීපයේ හිසට ළංව පිහිටයි. අනෙක් විස කූරු තුන ගුද මාර්ගය ආසන්නයේ එනම් පසුපස වරලේ හරි මැදට වන්නට පිහිටා ඇත. කිමිදුම්කරුවන් මෙම සත්වයා ආසන්නයට වත්ම තරමක් පිටුපසට ගොස් එම විස වරල්  තම සතුරා දෙසට යොමු කරයි. මොවුන් දෂ්ඨ කිරීම බලවත් වේදනාකාරීත්වයක් ඇති කරයි. විස ශරීරගත වූ විට ඔක්කාරය, වමනය, උණ, හුස්මගැනීමේ අපහසුතා, කම්පනය, හිසරදය, මළ දියරමය වශයෙන් පිටව යාම වැනි රෝග ලක්ෂණ මතුවේ. කලාතුරකින් හදවතේ අකර්මණ්‍යතාවය මෙන්ම ගාත‍්‍රාවල තාවකාලික අඩපණවීම්ද මරණයද සිදුවිය හැකිවේ. මෙහි මාරාන්තික බව කුඩා ළමුන්, වයස්ගතවූවන්, දුර්වල ප‍්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයටයි. ඉතා කලාතුරකින් මෙවැනි මරණ සිදුවිය හැකිවේ
photograph by Dive Lanka

Tuesday 3 February 2015

නීලබෝමියා (Common Bluebottle)

Common Bluebottle
විද්‍යාත්මක නම : Graphium sarpedon

නීලබෝමීන්ගේ තටුවල ඉහල හා පහල යන දෙපැත්තේම පූර්ව පිහාටු හා අපර පිහාටු දක්වාම විහිදෙන නිල් පැහැති පටියක් දැකිය හැක. මෙය ගැඹුරු නිල් පැහැයේ සිට හරිත වන් නිල් පැහැයක් දක්වා පරාසයක විසිර පවතී. මීට අමතරව පූර්ව තටුවේ උඩු පැත්තේ නිල් පැහැති තිත් දැකිය හැක. මීට අමතරව අපර තටුවේ පහල කෙලවරට වෙන්නට රතු පැහැති තිත් දැකිය හැක.
Photograph by Kinsli Prabath
මෙම වැඩිහිටි සමනලයන් ගස් ඉහළ මට්ටමේ සිට පහල මට්ටම් දක්වා ඉල පහල පියාසර කරයි. පිරිමි සතුන් බොහෝ විට පාරවල් අයිනේ හෝ යූරියා සහිත වැලි මත සිටිනු දැකිය හැක. සමහර විටෙක රංචු වශයෙන් ලැග සිටිනු දැකිය හැක. ස්වභාවික පරිසරයේ හෝ නාගරික උද්‍යානවල වේගයෙන් පියාසරණ දැකිය හැක. බොහෝ විට පිරිමි සතුන් දැකිය හැකි වුවත් ගැහැණු සතුන් හා පිරිමි සතුන් එකිනෙකා පසුපස පියාඹනු දැකිය හැක. ධාරක ශාක ආසන්නයේ ගැහැණු සතුන් වැඩිපුර සිටීමට කැමතිය.
Photograph by Harshana Henarath
මොවුන්ගේ මුල් අවධිය ගත කරන ධාරක ශාක ලෙස කුරුඳු ශාකය හා තවත් දැනට හඳුනා නොගත් ශාක වර්ගයක් වේ. මෙම ශාක වල සාමාන්‍යයෙන් උසින් අඩු පැලෑටි මත තරුණ පත්‍ර හෝ අංකුර මත බිත්තර දැකිය හැක. සුදු හෝ ක්‍රීම් පැහැති ගෝලාකාර බිත්තර විශ්කම්භයෙන් 1.2mm පමණවේ. දින තුනකින් බිත්තර පුපුරන අතර එන සුඹුල් පණුවා 3mm පමණවේ. බිත්තරයෙන් පැමිණි වහා පළමු ආහාරය ලෙස බිත්තරය ආහාරයට ගන්නා අතර පළමුව දුඹුරු කහ පැහැති ශරීරයක් ඇති අතර පසුව අඳුරු රන්වන් දුඹුරු පැහැයකට හැරේ. උරස් අංශ තුනක සුදු පැහැති කංචුක යුගල වශයෙන් ඇති අතර ගුද කෙලවරේද සුදු පැහැති කංචුක යුගලයක් දැකි හැක.
Photograph by Chathura Udayanga

දින දෙකකට පසු 5mm පමණ දිගෙන් වැනෙ අතර දිනෙන් දින වැඩෙද්දී කොළ පැහැයක් ඇතිවන අතර කංචුක ක්‍රමයෙන් කුඩාවේ. ඒවා කලු පැහැති උල් වැනි ආකාරයට ක්‍රමයෙන් කුඩාවන අතර ශරීරය කොල හා කහ පැහැයකට හැරේ. දින 20කට පමණ පසු දලඹුවා ල‍ා කොල පැහැවන අතර කංචුක සුදු පැහැයෙන් සම්පූර්ණයෙන්ම පාහේ නැතිවීයයි. එවිට ශරීරයේ දිග 40-43mm පමණවේ. මෙම දලඹුවන් දින කීපයකදී කෝශ සෑදීම අරඹන අතර කොල පැහැයෙන් යුතු කෝශ ධාරක ශාක පත්‍ර යටි පැත්තේ දැකිය හැක.
Photograph by Sachindra Umesh‎
Photograph by Udaya Chanaka
කෝශ වල ‍ජීවත්වන කාලය දින 10ක් පමණවේ. කෝෂය දින ගතවෙද්දී මෝරන අතර සමනලයාගේ ඉදිරි තටුවල වර්ණය දැකිය හැකි විනිවිධ පෙනෙන ස්වභාවයක් දැකිය හැක. අවසන් දිනයේදී කෝෂය බිඳ සමණලයා එලියට පැමිණේ.

ශ්‍රී ලංකා මැඩි මූණා (Sri Lankan Frogmouth)

Sri Lankan Frogmouth
විද්‍යාත්මක නම : Batrachostomus moniliger

ශ්‍රී ලංකා මැඩි මූණා යන පොදු නමෙන් හැඳින්වෙන මෙම පක්‍ෂියා දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ වාසය කරයි. මැඩි මූණන්ගේ වර්ගයේ කුඩාම සත්ත්වයාය. බිම් බස්සන්ට වඩා සමානතාවයක් දක්වයි. නිශාචරව වනාන්තර ආශ්‍රිතව දැකිය හැක. පියාපත් හා පෙඳය වේලුණු පත්‍ර මෙන් පෙනෙන අතර සාමාන්‍යයෙන් අතුඉති මත සැඟවී සිටී. මොවුන් සාමාන්‍යයෙන් එක් ගසක් තොරාගෙන බාහිර උවචුරක් නොමැති තාක් එහිම වාසය කරයි. මොවුන්ගේ ජීවන ප්‍රදේශ වලදී මොවුන්ටම අනන්‍ය වූ ශබ්දයකින් උදෑසන හිරු එලිය නැගෙද්දී හා රාත්‍රී  අඳුර වැටෙද්දී කෑගසනු ඇසිය හැක.
Photograph by Amila Gunathilaka
සාමාන්‍යයෙන් අඟල් 9ක් පමණ දිගුවන මොවුන් ගේ විශේෂිතම ලක්‍ෂණය වන්නේ පලල් වතුටු වූ හොටයයි. එහි නාස් පුඩු මෙන් විවර දෙකක් දැකිය හැක. විශාල හිස හා එහි ඉදිරිපස පිහිටා ඇති ඇස් ද්විනේත්‍රික දෘෂ්ඨිය ලබාදෙයි. පියාපත් අග සුදුපැහැති රාමුවක් ඇති කළු තිත් විසිර තිබේ. පිරිමි සත්ත්වයා අළු දුඹුරු පැහැවන අතර සුදු පැහැ තිත් දැකිය හැක. ගැහැණු සතා තරමක් පිරිමි සත්ත්වයාට වඩා විශාල ලෙස පෙනෙන අතර ඔවුන් පිරිමි සත්ත්වයාට වඩා දුඹුරු පැහැතිය. එමෙන්ම හිසේ කලු පැහැ කිරුළක් දැකිය හැක. එමෙන්ම මොවුන්ගේ ඇස් වටා රළු, කෙටි කෙස් දැකිය හැක.
Photograph by Chamindu Sudharaka Mallawarachchi
Photograph by Dumith Mudannayake
ගස්මත සැඟවී සිටින මොවුන් වියලි අතුකැබැල්ලක් යැයි රැවටෙන අවස්ථා බහුලය. බිම හෝ ගස් අතු මත සිටින කුඩා කෘමීන් දඩයම් කර ආහාරයට ගන්නා අතර සමහර විටෙක රංචු වශයෙන් දැකිය හැක. දකුණු ඉන්දියාවේදී ජනවාරි - අප්‍රේල් කාලයේදීත් ශ්‍රී ලංකාවේ නම් පෙබරවාරි - මාර්තු කාලයේදීත් අභිජනනය කරයි. පැතැලි කූඩුව පතුලට දිය සෙවල හෝ පිසි අතුරා වටේට ගස්පොතු හා ලයිකන යොදා සාදයි. එහි එක් සුදු පැහැති බිත්තරයක් දමන අතර එය ලයිකන වලින් හා පෙඳයෙන් වසා ආරක්‍ෂා කරයි. දවල් කාලයේ කුරුල්ලා බිත්තරය රකින අතර රාත්‍රියේදී දෙදෙනා මාරුවේන මාරුවට බිත්තරය රකී. පැටවා එලියට පැමිණි පසු කුරුල්ලා විසින් කූඩුවවිනාස කර දමන අතර එකම ගසේ කූඩුව නැවත නැවත සාදයි. තරුණ පැටවුන් මාස කීපයක් දෙමාපියන් සමඟ සිට රංචු ගැසෙන හැටි උගෙන ඉවත්ව යයි.
Photograph by Samitha Madhawa Karunathilaka

Monday 2 February 2015

වන පොල්කිච්චා (White Rumped Shama)

White Rumped Shama
විද්‍යාත්මක නාමය : Copsychus malabaricus

කාක වර්ගයට අයත් මෙම කුරුල්ලා දකුණු ආසියාතික රටවල් වන ඉන්දියාව, නේපාලය, බුරුමය, ශ්‍රී ලංකාව, අන්දමන් දූපත්, මැලේසියාව, වියට්නාමය, චීනය, ඉන්දුනීසියාව හා තායිලන්තයේ ජීවත්වේ. පොලව මට්ටමට කිට්ටුවෙන් හෝ පහත් ගස් වල කූඩු තනන කුරුල්ලෙකි. ‍බොහෝවිට උණ පඳුරු අතර හෝ තේක්ක වතුවල දැකිය හැක.
Photograph by Chamara Sulakkhana
පෙඳය සමඟ දිග අඟල් 10-11 අතර වන අතර කුඩා කුරුල්ලාට දිගු ක්‍රමාණුකූලව වැඩුණු පිහාටු සහිත පෙඳයක් තිබේ. පිරිමි සතුන් දිලිසෙන කළු පැහැ වන අතර උදරය දුඹුරු පැහැතිය. පෙඳයේ බොහෝ කොටස් වල සුදු පැහැ පිහාටු තිබේ. ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා කුඩා වන අතර උදරයේ වර්ණවත් දුඹුරු පැහැයක් දැකිය හැක. දෙදෙනාටම කලු පැහැ හොටයක් හා රෝස පැහැති කකුල් තිබේ.
Photograph by Liz Jones
වන පොල්කිච්චාගේ අපූර්වත්වයක් වන්නේ ඔවුනටම ආවේණික වූ මිහිරි නාදයයි. අනෙක මොවුන්ගේ පෙඳයේ ඇති විශේෂීත සුදු පැහැයයි. එම පිහාටු එක්වර එසවීම හා පහත දමන ආකාරයත් ඔවුනටම විශේෂිතයි. මොවුන්ගේ ආහාර ලෙස තණකොළ පෙත්තන්, කුඩා පණුවන්, කුඩා මසුන් ලබාගනී.
Photograph by Malith Wimalarathna
කිරිල්ලිය කෝටු කැබලි හා පර්ණාංග වලින් කූඩුව තනයි. වන පොල්කිච්චන්ගේ ප්‍රජනන අවධියේදී ආහාර සුලභ නම් දෙවතාවක් බිත්තර දමන අවස්ථා ඇත. වරකට බිත්තර 3-5ක් අතර ප්‍රමාණයක් දමයි. සාමාන්‍යයෙන් දිනකට බිත්තරය බැගින් දින කීපයක් බිත්තර දමයි. බිත්තර රැකීම කුරුල්ලා හා කිරිල්ලිය යන දෙදෙනා අතින්ම සිදුවේ. දින 12-15ක් අතර කා‍ලයේ බිත්තර පුපුරා පැටවුන් පැමිණේ. බිත්තර පුපුරද්දීද දිනක කාලයකට වරක් බිත්තර පුපුරන අතර එය සාමාන්‍යයෙන් උදය කාලයේ සිදුවේ. සුදුපැහැයේ සිට ඉතාමත් ලා නිල් පැහැයෙන් යුතු බිත්තර පුරා අක්‍රමවත් දුඹුරු පැහැ ලප විසිර තිබේ.

බිත්තර වලින් එලියට එන පැටවුන් අැස් වැසී ඇති අතර ඒවා දිය 6කට පමණ පසු විවෘතවේ. පිහාටු සෑදෙන්නේ දින 11කට පමණ පසුය.