Tuesday 31 January 2017

අරුණු සෙවිවන්දියා Crimson rose

Crimson rose
විද්‍යාත්මක නම : Pachliopta hector

රතු හා කලු පැහැයෙන් යුතු සාමාන්‍යයෙන් විශාල සමනලයෙකි. ඉතාමත් අලංකාරය. ශ්‍රි ලංකාවවේ හා ඉන්දියාවේ දක්නට ලැබෙන අතර සමහර විටෙක බටහිර මුහුදුබඩ මියන්මාරයේ වාර්ථා වී ඇත. වැඩුනු පිරිමි සතෙකුගේ උඩ පැත්ත කලු පැහැතිය. පෙර පියාපත උඩ පැත්ත කෙලවර ආසන්නයේ හා මැදට වන්නට සුදු පැහැයෙන් අක්‍රමවත් රේඛාලින් වූ බෙදීමක් දැකිය හැක. පියාපත් දාරය සුදු පැහැති රේඛාවකි. අපර පියාපත උඩු පැත්ත පුරා තද රතු පැහැති ලප දැකිය හැක. බොහෝ විට මේ ලප අඩසඳ ලකුණු මෙන් දිස්වේ. පියාපත් යට පැත්තේද මේ සියලු දේ දැකිය හැකි වුවත් සියල්ල බොඳ වූ ලා පැහැති ස්වභාවයක් වේ. ඇන්ටනා, බෙල්ල හා උදරය කලු පැහැතිය. පිට පැත්තේ ද කලු පැහැයක් ඇති අතර ශරීරය ඉතිරිය රතු පැහැතිය. ගැහැණු සතුන් හා පිරිමි සතුන් බොහෝ විට එක සමානව දිස්වේ. නමුදු පිරිමි සතාගේ උඩු පැත්ත ගැහැණු සතාට වඩා තද පැහැතිවේ. යටි පැත්තේ රතු පැහැය ගැහැණු සතාගේ ප්‍රමුඛව පෙනේ. ශරීයයද සාපේකෂව පිරිමි සතුට වඩා වැඩි රතු පැහැයක් දැකිය හැක.
Photograph by Menaka Dinesh Shalinda
බිම් මට්ටමේදී මන්දගාමීව නමුත් නොසැලී පියාසරයි. ඉහල සීමාවන්හීදී වඩා වැඩි වේගයකින් පියඹා යා හැක. රාත්‍රියේ ඉහල පියාපත් වලින් පහල පියාපත් වැසෙන සේ පියාපත් කඩා හැලෙන්නට සලස්වා නිදයි. වරින් වර පියාපත් එකිනෙක පිරිමැදීම සිදු කරනු දැකිය හැක. 

අගෝස්තු - නොවැම්බර් කාලයේ හා අප්‍රේල් - ජූනි කාලයේ දැකිය හැක. වසරකට වාර හතක් පමණ බෝවීම සිදුකරන අතර දින 39-47ක් දක්වා කාල‍යේදී බිත්තරය වර්ධනය වූ සමනලයෙකු බවට පත්වේ.බිත්තර පිපිරීමට දින 7ක් ගතවේ. ඉතා වේගවත් බෝවීමක් පෙන්වන මොවුන්ට මල්පැණි බහුලව අවශ්‍යවේ. විශේෂයෙන් ගඳපාන Aristolochia විශේෂයට අයත් ශාක මත යැ‍පීමට රුචියක් දක්වයි.

බිත්තර දැමීම සඳහා ධාරක ශාකය වන සප්සඳ Aristolochia indica වැල් සොයමින් යනු දැකිය හැකිය. තැඹිලි පැහැති ගෝලාකාර බිත්තර සප්සඳ පත්‍ර යටි පැත්තේ තනි තනිව දමයි. කලු පැහැති දළඹුවන්ට ශරීරය පුරා රතු පැහැති අං වැනි අවයවයක් දැකිය හැක. වැඩුනු දලඹුවා අඳුරු රතු පැහැ වේ. කෝෂයේ වෙන්ව පිහිටි පියාපත් දැකිය හැකි අතර උදර කොටස වෙන්ව දැකිය හැක. එය රෝස - දුඹුරු පැහැයෙන් දිස්වේ.