Wednesday 18 February 2015

නිදි මාපිලා (Sri Lankan Cat Snake)

Sri Lankan Cat Snake
විද්‍යාත්මක නාමය : Boiga ceylonensis

ශ්‍රී ලංකාවේ මීටර් 1500 කට වඩා අඩු පහත් බිම් වලත් ඉන්දියාවේ බටහිර  ප්‍රදේශ වලත් දකින්න පුළුවන් සර්පයෙක්. මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් දරන නිදි මාපිලා අඩි හතරක් පමණ දිගකට වර්ධනය වෙනවා. හිස පැහැදිලිව ගෙලෙන් වෙන් වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයේ ඇස් මෙන්ම ඒ තුළ පිහිටි තිරස් කනිණිකාවක්ද දැක ගන්න පුලුවන්. පූසෙකුගේ ඇසට සමාන මේ පිහිටීම නිසා Cat Snake යන නම මේ සර්පයාට  ලැබිල කියල හි‍තන්න පුළුවන්. ලංකාවේ වාර්තාවෙන මාපිල් විශේෂ පහෙන් විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නේත් නිදි මාපිලන්.
Photograph by Sajith Fernando
ශරීරය අලු පැහැයට හෝ දුඹුරු පාටට හුරු පැහැයක් ගන්නා අතර තද දුඹුරු කලු පැහැයට හුරු විශාල තිත් ශරීරය පුරා විසිරී තියෙනවා. බඳ ප්‍රදේශයේදී මේ තිත් ප්‍රමාණයෙන් විශාල වෙනවා. හිසේ පිහිටා තියන මිනිස් පෙනහැල්ලක හැඩැති කලු පැල්ලමද මුඛය දෙපස සිට ඇස් හරහා දිවෙන තද දුඹුරු කලු රේඛාවද මේ සර්පයා හදුනා ගන්න උදව් වෙනවා. නිශාචර සර්පයෙක් වෙන නිදි මාපිලා ඉතාමත් කලාතුරකින් දිවා කල  දැක ගන්න පුලුවන්. පඳුරු ආශ්‍රිතව දිවි ගෙවන මේ සර්පයා හූනන් මීයන් වැනි සතුන් දඩයම සදහා මිනිස් වාසස්ථාන වලටද පැමිනෙනවා. තදින් කුපිත වූ අවස්තාවල ශරීරයේ ඉදිරි පෙදෙස දගරයක් ආකාරයට සකස් කරගෙන වලිගයද සොලවමින් සපා කෑමට පනිනවා. වලිගයෙන් ගස්වල එල්ලී සිටීමේ හැකියාවද මෙයාට තියෙනවා. සාමාන්‍යයෙන් හොඳින් වැඩුනු සතෙක් 120cm පමණ වෙනවා.
Photograph by Mendis Wickramasinghe

මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිත සර්පයෙක්. මොවුන් සතුව ඩුවනෝයි ග්‍රන්ථියක් සහ මුඛයේ පසු පස ආසන්නයේ පිහිටි ඔපිස්තොග්ලයිපස් වර්ගයේ විකරණය වූ දල දෙකක් පිහිටා ඇත. කලබල වූ විට හිස පැතලි කර ශරීරයේ පුර්ව කොටස පුම්බා දඟරගසා වලිග කොන සොලවමින් සපා කෑමට සැරසේ. නමුත් බාධාවක් හෝ අවදානම් ස්වාභාවයක් නොවේ නම් මඟ හැර යෑම මොවුන්ගේ ස්වභාවයයි. වැඩුනු ගැහැනු සර්පයෙක් පෙබරවාරි අප්‍රේල් අතර කාල වලදී වරකට බිත්තර 5 ත් 15ත් අතර සංඛ්‍යාවක් දැමීම සිදු කරනවා. වර්ධනය වූ පිරිමි සතුන් සාමාන්‍යයෙන් ගැහැනු සතෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල වෙනවා. නිදි මාපිලා ආහාර ලෙසට මීයන් කුරුල්ලන් හූනන් දඩයම් කිරීම සිදු කරනවා.


නිදි මාපිලා දෂ්ඨ කළ පසු රෝගියා නින්‌දේදීම මිය යන බවට මිත්‍යා විශ්වාසයක් ඇතැම් මිනිසුන් තුළ පවතිනවා. ‌මොහු නිශාචර සර්ප‌යෙක් නිසා රාත්‍රියට ක්‍රියාශිලී ‌වෙනවා. එනිසා මිනිසුන්ට පහර දීම්ද සිදු වෙන්නෙත් රාත්‍රි කාල‌යටයි. නමුත් නින්‌දේදී මියයන මතය පදනම් විරහිතයි. සුලු විශ ඇති නමුත් විශාල වශයෙන් මිනිසුන් විසින් මරා දමන සත්ත්ව විශේෂයක් වුනත් පරිසරයේ සමතුලිතතාව රැක ගැනීමට විශාල වශයෙන් දායක වන සත්ත්වයෙක්.

No comments:

Post a Comment