Tuesday 3 February 2015

ශ්‍රී ලංකා මැඩි මූණා (Sri Lankan Frogmouth)

Sri Lankan Frogmouth
විද්‍යාත්මක නම : Batrachostomus moniliger

ශ්‍රී ලංකා මැඩි මූණා යන පොදු නමෙන් හැඳින්වෙන මෙම පක්‍ෂියා දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ වාසය කරයි. මැඩි මූණන්ගේ වර්ගයේ කුඩාම සත්ත්වයාය. බිම් බස්සන්ට වඩා සමානතාවයක් දක්වයි. නිශාචරව වනාන්තර ආශ්‍රිතව දැකිය හැක. පියාපත් හා පෙඳය වේලුණු පත්‍ර මෙන් පෙනෙන අතර සාමාන්‍යයෙන් අතුඉති මත සැඟවී සිටී. මොවුන් සාමාන්‍යයෙන් එක් ගසක් තොරාගෙන බාහිර උවචුරක් නොමැති තාක් එහිම වාසය කරයි. මොවුන්ගේ ජීවන ප්‍රදේශ වලදී මොවුන්ටම අනන්‍ය වූ ශබ්දයකින් උදෑසන හිරු එලිය නැගෙද්දී හා රාත්‍රී  අඳුර වැටෙද්දී කෑගසනු ඇසිය හැක.
Photograph by Amila Gunathilaka
සාමාන්‍යයෙන් අඟල් 9ක් පමණ දිගුවන මොවුන් ගේ විශේෂිතම ලක්‍ෂණය වන්නේ පලල් වතුටු වූ හොටයයි. එහි නාස් පුඩු මෙන් විවර දෙකක් දැකිය හැක. විශාල හිස හා එහි ඉදිරිපස පිහිටා ඇති ඇස් ද්විනේත්‍රික දෘෂ්ඨිය ලබාදෙයි. පියාපත් අග සුදුපැහැති රාමුවක් ඇති කළු තිත් විසිර තිබේ. පිරිමි සත්ත්වයා අළු දුඹුරු පැහැවන අතර සුදු පැහැ තිත් දැකිය හැක. ගැහැණු සතා තරමක් පිරිමි සත්ත්වයාට වඩා විශාල ලෙස පෙනෙන අතර ඔවුන් පිරිමි සත්ත්වයාට වඩා දුඹුරු පැහැතිය. එමෙන්ම හිසේ කලු පැහැ කිරුළක් දැකිය හැක. එමෙන්ම මොවුන්ගේ ඇස් වටා රළු, කෙටි කෙස් දැකිය හැක.
Photograph by Chamindu Sudharaka Mallawarachchi
Photograph by Dumith Mudannayake
ගස්මත සැඟවී සිටින මොවුන් වියලි අතුකැබැල්ලක් යැයි රැවටෙන අවස්ථා බහුලය. බිම හෝ ගස් අතු මත සිටින කුඩා කෘමීන් දඩයම් කර ආහාරයට ගන්නා අතර සමහර විටෙක රංචු වශයෙන් දැකිය හැක. දකුණු ඉන්දියාවේදී ජනවාරි - අප්‍රේල් කාලයේදීත් ශ්‍රී ලංකාවේ නම් පෙබරවාරි - මාර්තු කාලයේදීත් අභිජනනය කරයි. පැතැලි කූඩුව පතුලට දිය සෙවල හෝ පිසි අතුරා වටේට ගස්පොතු හා ලයිකන යොදා සාදයි. එහි එක් සුදු පැහැති බිත්තරයක් දමන අතර එය ලයිකන වලින් හා පෙඳයෙන් වසා ආරක්‍ෂා කරයි. දවල් කාලයේ කුරුල්ලා බිත්තරය රකින අතර රාත්‍රියේදී දෙදෙනා මාරුවේන මාරුවට බිත්තරය රකී. පැටවා එලියට පැමිණි පසු කුරුල්ලා විසින් කූඩුවවිනාස කර දමන අතර එකම ගසේ කූඩුව නැවත නැවත සාදයි. තරුණ පැටවුන් මාස කීපයක් දෙමාපියන් සමඟ සිට රංචු ගැසෙන හැටි උගෙන ඉවත්ව යයි.
Photograph by Samitha Madhawa Karunathilaka

No comments:

Post a Comment