Sunday 27 October 2019

දිමියන් වැනි කකුලු මකුලුවෝ Ant-mimic Crab Spider

විද්‍යාත්මක නාමය : Amyciaea forticeps
මකුලුවන් යනු කාර්යක්‍ෂම කුඩා විලෝපිකයන්වේ. ඔවුන් සමහරක් තම ගොදුර රැවටිය හැකි තරමින් අනුවර්තනය වී ඇත. මේ ඉන් එක් වර්ගයකි. Thomisidae පවුලට අයත් මෙම මකුලු විශේෂය දිමියන් අනුකරණය කරමින් ඔවුන් ගොදුරු කර ගනී. අනෙක් මකුලුවන් මෙන් ක්‍රියාශීලී අයුරින් දඩයම් නොකරන මොවුන් බොහෝ විට ඉදිරියට පසුපසට වෙමින් තම ගොදුර තමා වෙත ලගා වන තුරු බලා සිටී.
Photograph by Sulakkhana Chamara
මොවුන්ගේ ශරීරය පිටුපස කොටස කලු පැහැති ලප දෙකක් පිහිටන්නේ දිමියෙකුගේ ඇස් පිහිටන ආකාරයෙනි. බොහෝ විට කුරුඹුවන්ගේ පසුපස ගාත්‍රා ක්‍රියාකරන අන්දමින් ඔවුන් තම ඉදිරි ගාත්‍ර හසුරවනු දැකිය හැකිය. දඩයම් අවස්ථාවේදී දිමියෙකු අල්ලාගෙන තමා සිටින ස්ථානයෙන් පැන දිමියා සමග තම සේද තන්තුවේ එලිලී සිටී. වාතයේදී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හෝ පැනයාමට නොහැකි ගොදුර මත ක්‍රමයෙන් විශ ක්‍රියාත්මක වීමේදී සටනේ ජය මකුලුවාට ලැබේ.
Photograph by Sulakkhana Chamara
ලෝකය වටා මකුලු විශේෂ 300ක් පමණ කුහුඹුවන් අනුකරණය කරයි. මෙම සංසිද්ධිය myrmecomorphy ලෙස හැදින්වේ. මකුලුවන්ට කුහුඹුවන්ට මෙන් ඉන කොටසක් වෙන්වී නොමැත. එබැවින් මෙම අනුකරණය කරන්නන් හට ව්‍යාජ ඉන කොටසක් ඇති අවස්ථා දැකිය හැකිය. තවද කුහුඹුවන්ට ගාත්‍රා 6ක් පමණක් පිහිටද්දී මකුලුවන්ට ගාත්‍රා 8ක් පිහිටයි. අනුකරණයේදී ඔවුන් සතු වැඩිපුර ගාත්‍රා යුගලය ඇන්ටනා දෙකක් පිහිටන ආකාරයෙන් ඔසවාගෙන සිටිනු දැකිය හැකිය. මකුලුවන් කුහුඹු අනුකරණයට හේතු දෙකක් තිබේ. එයින් පළමු වැන්න කුහුඹුවන් ගොදුරු කර ගැනීම වන අතර අනෙක කුහුඹුවන්ගේ ගොදුරක් බවට පත් නොවී සිටීමයි. මෙම දිමියන් වැනි කකුලු මකුලුවන් අයත් වන්නේ පළමු ගණයටයි.
Photograph by Sulakkhana Chamara
Photograph by Sulakkhana Chamara
Photograph by Sulakkhana Chamara

Sunday 6 October 2019

කණඋල්ලා Blind Snake (Typhlops Sp.)

පාංශු වාසී දිවිපෙවතක් ගත කරන මෙම සර්පයින් බොහෝ අවස්ථාවල මිනිස් වාසස්ථාන තුල හා අවට හමුවේ. ප්‍රාථමික, නොදියුණු සර්ප කාණ්ඩයකි. පණුවෙකු වැනි ඒකාකාර සිලින්ඩරාකාර දේහයක් ඇත.ඉතා කුඩාය. අතිපිහිත නොවන රුහිතාකාර (Diamond shaped) කුඩා කොරළ සහිතය. හිස කද වෙන් වී නොමැත. හොඹුව අර්ධ-කවාකාර වේ. උප ශල්කමය ග්‍රන්ථි (Sub-squamous glands) කඩ ඉරි සේ දිස්වේ. ශරීර පැහැය බොහෝ විට දිලිසෙන සුලු දුඹුරු හෝ කළු මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී. හොඹුව ආශ්‍රිතව මද පැහැයක් ගනී. සමහර විශේෂ වල වල්ගය අග කුඩා මොට කණ්ටකයකින් යුතුය. මෙය ආරක්ෂාව මෙන්ම සංචරණය සදහා යොදා ගනී. පාරගම්‍ය  පාංශු වාසී දිවියට අනුරූපව පරිණාමය වූ කොරළ වලින් වැසී ගිය අක්ෂි කුඩා කළු තිත් දෙකක් ලෙස හිසේ තරමක් පෘෂ්ඨීය වන්නට පාර්ශවිකව පිහිටා ඇත. දත් රහිත යටිහනු පිහිටයි. නිර්විෂැතිය. සපා නොකයි.
Photograph by Sulakkhana Chamara
Photograph by Sulakkhana Chamara
Photograph by Sulakkhana Chamara
Photograph by Sulakkhana Chamara
Photograph by Sulakkhana Chamara

නිශාචර සර්ප විශේෂයක් වන කණ උල්ලන් සවස් කාලයේදී සක්‍රීය වේ. වැස්සත් සමග පොළව මතුපිටට පැමිණීමේ වැඩි සම්භාවිතාවක් ඇත. දහවල් කාලයේ දියාපත්වන කොළරොඩු, පස් කන්ඩි තුල දිවි ගෙවයි. තර්ජනයක් දැනුන විගස ඉතා කලබලකාරීව වේගයෙන් පලායාමට උත්සාහ කරයි. නිදහස් අතින් හැසිරවීමේදී දුර්ගන්ද ශ්‍රාවයක් පිටකරන අතර තම උල් වූ වල්ග කණ්ටකය මගින් ඇනීමක් සිදුකර පලායාමට උත්සාහ දරයි. කිසිසේත්ම සපා කෑමට උත්සාහ කරන්නේ නැත. තම ප්‍රධාන ආහාරය ලෙස පාංශුවාසී කුඩා සතුන් ආහාරයට ගනී. මේ අතුරින් ගැඬවිලන්, කුහුඹුවන්, වේයන්, කෘමි පිළවුන් හා කෘමි බිත්තර, ප්‍රමුඛ ස්ථානයක් ගනී.
Photograph by Sulakkhana Chamara
එක් විශේෂයක් (Brahminy Blind Snake) කෞමරොද්භවනය (parthenogenesis) පෙන්වන අතර අනෙක් විශේෂ බිත්තර දමයි.

ක්‍ෂීරපායීන්ට මෙන් ආහාර හැසිරවීම සඳහා ගාත්‍රා නොපිහිටන සර්පයන් තම ගොදුරු සම්පුර්ණයෙන්ම ගිලින නමුත් Indotyphlops ගණයේ සර්පයන් තම ගොදුරු කැබලි වලට කඩා ආහාරයට ගන්නා බව පර්යේෂණ වලින් හෙළිව ඇත. වේයන්ගේ හිස සපා කෑමෙන් වෙන්කර කඳ පමණක් ආහාරයට ගන්නා ආකාරය වාර්තා වී ඇත. ස්වභාවික පරිසරයේදී කරවැලුන් වැනි සර්ප භක්ෂණය සිදුකරන සර්පයන්ගේ ගොදුරු බවට පත්වී පරිසර සමතුලිතතාවට දායක වේ.
Photograph by Sulakkhana Chamara
ලංකාවේ මේ වන විට විශේෂ 09ක් වාර්තා වී ඇත.

  1. දුමුටු කණඋල්ලා Brahminy Blind Snake (Ramphotyphlops braminus)
  2. ස්මිත්ගේ කණඋල්ලා Sri Lanka Blind Snake (Typhlops ceylonicus)
  3. ලක් කණඋල්ලා Lanka Blind Snake (Typhlops lankaensis)
  4. කබර කණඋල්ලා Pied Blind Snake (Typhlops leucomelas)              
  5. මැල්කම්ගේ කණඋල්ලා Malcolm's Blind Snake (Typhlops malcolmi)           
  6. හීන් කණඋල්ලා Jan's Blind Snake (Typhlops mirus)
  7. ටේලර්ගේ කණඋල්ලා Taylor's Blind Snake (Typhlops tenebrarum)
  8. වැද්දාගේ කණඋල්ලා Veddha's Blind Snake (Typhlops veddae)
  9. දම් කණඋල්ලා Violet Blind Snake (Typhlops violaceus)

Sunday 25 August 2019

කෙළ ගසන මකුලුවෝ (Spitting Spiders) -පළමු විශේෂය


ලංකාවේ මේ නමින් 2019 වන විට හදුනාගත් මකුලුවන් විශේෂ තුනක් සිටී. එයින් එක් විශේෂයක් වන Scytodes venusta තමා මෙම පළමු විශේෂය.

Scytode නම් ගණයට අයත් වෙන මෙම මකුලුවන් ලංකාවේ ඉදන් ජාවා දූපත් වෙනකම් ව්‍යාප්ත වී තිබේ. එ පමණක් නොවෙයි නෙදර්න්තයේ හදුන්වාදුන් විශේෂයක් වශයෙනුත් දැකිය හැකිය.

සාමාන්‍යයෙන් ගැහැණු සතෙක් දිගින් මිලි මීටර 4.75 ත් 5.5 ත් අතර ප්‍රමාණයක් වෙනවා. පිරිමි සතා මීට වඩා මදක් කුඩායි. හිස ඉදිරියේ ඇස් 6ක් යුගල 3ක් වශයෙන් පිහිටයි.
Photograph by Sulakkhana Chamara
රතු පැහැයට හුරු තැඹිලි පැහැති මොවුන්ගේ හිස හා ශරීරය බුබ්බුලාකාරය. හිස තුල පිහිටා ඇති විශේෂ ග්‍රන්ථි මෙයට හේතු වේ. ශරීරය පුරා හරස් අතට විහිදුනු රතු පැහැති රේඛා සහ හිසේ දිගු අතට විහිදුන මෝස්තරාණුකූල රේඛා දැකිය හැකිය. දිගු පාද හා ශරීරය පුරා රෝම පිහිටයි.

මොව්නට මේ නම් ලැබී ඇත්තේ ඔවුන්ගේ ආහාර රටාව නිසාය. නිශාචර වන මොවුන් කුඩා සතුන් නිසලව සිටින අවස්ථා වලදී ඔව්න් වෙත සෙමින් ලංවේ. ඒ සදහා ඔවුන්ගේ දිගු පාද භාවිතා කරයි. ගොදුරට ලංවූ පසු ගොදුර හා තමා අතර දුර තමාගේ ඉදිරි පාද හා එහි ඇති රෝම භාවිතා කර මැන ගනී. නියමිත ප්‍රමාණයෙන් ලංවූ පසු තමාගේ දළ වලින් නිකුත් කරනු ලබන ඇලෙන සුලු සේද වන් මැලියම් නූලක් භාවිතා කර වියමනක් දමයි. මෙය Zig Zag ආකාරයේන් විහිදුවනු ලබන අතර තත්ත්පරයකින් 1/600 ක් තරම් කුඩා කාලයකදී සිදු කරයි. මෙම සේද වන් නූල තමා ගේ ශරීරයේ ප්‍රමාණය මෙන් 10 ගුණයක් තරම් දුරකට විසි කිරීමේ හැකියාම මෙම මකුලුවා සතුවේ.
Photograph by Sulakkhana Chamara

මකුලුවා මෙම නූල යෙදූ පසු ගොදුර සැනින් අඩපණ වීමට පටන් ගනී. (මෙය ගොදුර විදුලි සැර වැදී අංශභාගයට ලක්වන්නා වැනි සිදු වීමක් බව මා නිරීක්‍ෂණය කර ඇත. නමුත් එයින් ඇත්ත වශයෙන්ම එසේ අංශභාගයට ලක්වීමක් ද යන්න තවමත් පැහැදිලි නැත) ගොදුරේ ප්‍රමාණය අනුව නැවත නැවතත් එය වෙලා දමන මෙම මකුලුවා ක්‍රමයෙන් ගොදුර ආහාරයට ගැනීමට පටන් ගනී.

ගැහැණු සතුන් බිත්තර දැමීමෙන් පසු බිත්තර පුපුරා යන තුරු පැටවුන් සහිත මල්ලක් තමා ගේ ශරීරය යටි පැත්තේ එල්වාගෙන යනු දැකිය හැකිය. බිත්තර පුපුරා එළියට එන පැටවුන් මව සමග කාලය ගත කරන අතර ගොදුරු බෙදා ගනිමින් ආහාරයට ගනී. ලිංගික වශයෙන් පරිණත වීමෙන් පසු තම වාසස්ථානයේ සිට කෙටි දුරකින් තමාගේම වාසස්ථානයක් සොයා ගමන් කර හැදකලා හැසිරීමක් පෙන්නුම් කරයි.   
Photograph by Sulakkhana Chamara